nimal-siripala-ajan-brhma-thera

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තිබෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ දේශපාලකයන් කෙරෙහි ඔවුන් දක්වන පක්ෂග්‍රාහී හැසිරීමයි. දේශපාලකයෙකුගේ සෑම අවශ්‍යතාවයක්ම අන් සියල්ලටම වඩා ප්‍රමුඛත්වය ලබාදෙන්නට යාම ඇතැම්විට සීමා ඉක්මවා යයි.  අජාන් බ්‍රහ්ම් හිමිට කටුනායක ගුවන්තොටුපලේදී ගුවන් යානයක් මගහැරීයාම ගැන මූලික විමර්ශනය තුළින් මෙම කරුණු මතුවේ.


බ්‍රිතාන්‍යයේ උපත ලද, ඕස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්ම් හිමි ශ්‍රී ලංකාවේ අජාන් බ්‍රහ්ම සංගමයේ ආරාධනයකට අනුව මෙරටට වැඩම කර ඇත. විවිධ වැඩසටහන්වලට සහභාගි වෙමින් දින නවයක් රට තුළ ගත කළ උන්වහන්සේ මැයි 31 වැනිදා සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගප්පූරුවට ගොස් පර්ත් වෙත යාමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ. හිමියන් ගුවන් තොටුපළේ ප්‍රභූ විවේකාගාරයේ අසුන්ගෙන සිටියේ තම ගුවන් ගමන එනතුරුය.සාමාන්‍යයෙන් ගුවන් යානයට බෝඩිං වීමට හිමියන් කැඳවායාම සිදුවේ.

මේ අතර එම ගුවන් යානයෙන්ම සිංගප්පූරුව බලා යමින් සිටි ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද පැමිණ ප්‍රභූ විවේකාගාරයේ වෙනත් කොටසක සිටි බව කියැවුණි. අමාත්‍යවරයා හාමුදුරුවෝ යන බව දැක නැති අතර හිමියන් සිටියේ VIP විවේකාගාරයේ ය.

නියමිත කාලය පැමිණි පසු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යන ගුවන් යානය වෙත කැඳවාගෙන ගිය ගුවන් තොටුපළ නිලධාරීන්ට භික්ෂූන් වහන්සේ තවමත් ප්‍රභූ විවේකාගාරයේ වාඩි කරවාගෙන ගොස් ඇති බව අමතක වී තිබේ. පෙනීයන ආකාරයට අමාත්‍යවරයාට පක්ෂග්‍රාහීව නිසි සැලකිල්ලක් දැක්වීමට කඩිමුඩියේ වැඩෙහි යෙදුණු නිලධාරීන්ට එම විවේකාගාරයේම වෙනත් ස්ථානයක ඉවසීමෙන් බලා සිටි හිමිනම අමතක වී ඇත.



ඔවුන් කළ වරද අවබෝධ වී ඇත්තේ අවසන් මොහොතේ දී වන අතර, භික්‍ෂුව යානයට ගැනීමට උත්සාහ කළද ඒ වන විට යානයේ දොරවල් අගුළු දමා ධාවන පථය දෙසට ධාවනය වෙමින් තිබිණි.

උන්වහන්සේට ආරාධනා කළ සංවිධායකයන්ට අනතුරුව වෙනත් විකල්පයකට යාමට සිදුව ඇති අතර අජාන් බ්‍රහ්ම් හිමි මැලේසියාව හරහා පර්ත් වෙත රැගෙන යාමට වෙනත් ගුවන් යානයකට යොමු කෙරුනේ පැය 12 ක පමණ ප්‍රමාදයකින් පසුවය. දින බාගයක් දැඩි අපහසුතාවයකින්, නව ගුවන් ගමන සඳහා රැඳී සිටීමට හිමියන්ට සිදුවූයේ ඇමතිවරුන්ට ගැති නිලධාරීන් කිහිප පොළකගේ නොසැලකිල්ල නිසාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම නොසැලකිලිමත් ක්‍රියාව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන ලෙසට දැන් නියෝග කර තිබේ.