chip-key-vehicle-theft-thalawathugoda

තලවතුගොඩ පෞද්ගලික රෝහලක රථගාලක තිබී මෝටර් රථයක් සොරාගත් පුද්ගලයන් දෙදෙනකු ස්කෑනර් යන්ත්‍රයක් භාවිත කර වාහනය පණ ගැන්වීමෙන් පසු එය සොරකම් කර ඇති බව පොලිසිය පසුගිය සතියේ සොයාගෙන තිබේ.
මෙම අලුත් ගැජට්ටුවෙන් කරන්නේ මෑත කාලීනව වාහන සමග එන 'චිප් යතුරු' එනම් අගුළ තුළට බැස්සවීමකින් තොරව රේඩියෝ තරංග ඇසුරින් ස්ටාර්ට් කළ හැකි යතුරක රහස්‍ය දත්ත කොටස් ස්කෑන් කර සොයාගනීමය.
රුපියල් 50,000ක් පමණ වටිනා මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් චීනයේ සිට ගෙන්වා ඇති බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයන්ට වාහනයට ගොඩ නොවී ක්‍රියාත්මක කළ හැකි ස්කෑනිං යන්ත්‍ර භාවිත කර මේ ආකාරයේ සොරකම් සිදු කිරීමට හැකි වීම භයානක ප්‍රවණතාවක් බවයි.

තලවතුගොඩ සිද්ධියේදී පුද්ගලික රෝහලේ රථවාහන අංගනයේ සැකකරුවන් වාහන එකින් එක පරීක්ෂා කර අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කර ඇත්දැයි සොයා බලා තිබෙන අතර අනතුරු ඇඟවීම් ඇති වාහන මගහැර ඇති බව පොලිසිය පවසයි.පසුව කැමරා නිරීක්‍ෂණයෙන් බැහැරව නවතා තිබූ වාහනයක් ඔවුන් තෝරාගෙන තිබුණි.


ස්කෑනරය සවිකර මෝටර් රථය පණ ගැන්වීම සඳහා මෙම පුද්ගලයන් දෙදෙනා වාහනයේ වීදුරුවක්ද කඩා ඇත.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා පැවසුවේ පැමිණිල්ල මත වහා ක්‍රියාත්මක වූ ඔවුන් CCTV දර්ශන පරීක්ෂාවේදී සොරකම් කළ වාහනය සමඟ තවත් වාහනයක් රථගාලෙන් පිටව ගොස් ඇති බව හදුනගත් බවය.

වාහනයේ අංකය ලුහුබැඳ ගිය ඔවුන් පැය 24ක් ඇතුළත කඩුවෙල ප්‍රදේශයේ ස්ථානයක නවතා තිබූ මෝටර් රථය සොයා ගෙන තිබුණි. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නටද හැකිවිය.පොලිසිය වාහනය පරීක්ෂා කිරීමේදී ස්කෑනර් යන්ත්‍රයක් සහ සිම් කාඩ්පත් විශාල ප්‍රමාණයක් එහි තිබී සොයා ගන්නා ලදී.

සොරාගත් වාහනය මාතර නගරයේ ගරාජයකට රැගෙන ගොස් වාහන අමතර කොටස් සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගෙන කොටස්වලට වෙන්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එක් සැකකරුවෙකු මාතර ප්‍රදේශයේ ගරාජය හිමිකරුවෙක් වන අතර ඔහු කාර්මික පාඨමාලා හදාරා ඇත.
සැකකරුවන් දෙදෙනා ජුනි මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකෙරේ.