mohan-peris-un

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ මොහොන් පීරිස් මහතා වෙත උප සභාපති ධුර 22 න් 1 ක් හිමිව තිබේ. ඔහු ආසියානු පැසිෆික් කලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර භාර ගැනීමට නියමිතය.ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 21ක් මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති තනතුර සඳහා තොරා පත්කරගෙන ඇත.


රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවල උප සභාපති ධූර තෝරා පත්කරගෙන ඇති බව වාර්තා වෙයි.
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා
නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපති ලෙසද මින් ඉහත කටයුතු කර ඇත.
ජනාධිපති නීතිඥ පීටර් මොහාන් මෛත්‍රී පීරිස්  නීතිපතිවරයා ලෙස 2008 සිට 2011 දක්වාත් ශ්‍රී ලංකාවේ තථ්‍ය අගවිනිසුරුවරයා ලෙස 2013 සිට 2015 දක්වාත් කටයුතු කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පත්වීම අවලංගු කරේ 2015 දීය.



මොහාන් පීරිස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. 1981 වසරේ රජයේ නීතීඥවරයෙකු වූ අතර පසුව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු බවට පත් විය.  හාවඩ් නීති විද්‍යාලයේ, කේම්බ්‍රිජ් ජේසු විද්‍යාලයේ සහ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පුහුණුව  ලබා ඇත.