mosquito-issue

මදුරු මර්දන සහායකයන් ලෙස, කැස්බෑව බටුවන්දර නිවෙසකට වෙස් වළා ගෙන පැමිණි පුද්ගලයන් තිදෙනකු 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා, රන් භාණ්ඩ කොල්ලකා, පලාගොස් ඇතැයි කැස්බෑව පොලීසිය කියයි. පැමිණි කොල්ලකරුවන් රුපියල් ලක්ෂ 13කට අධික වටිනා රන් මුදු, රන් මාල, රන් වළලු හා ජංගම දුරකතනයක් කොල්ලකා පලාගොස් ඇත.



හොඳින් හැඳ පැළඳ, අත ලිපි කවර සහ ලිපි ලේඛන අතැතිව පැමිණ තිබූ කොල්ලකරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි කොල්ල කෑම සිදු කළ නිවෙස ඉදිරි පසින් පිහිටා තිබෙන නිවෙස් දෙකක අවට පරිසරයේ ඩෙංගු කීටයන් සිටිනවා දැයි පරීක්ෂා කර, අනතුරුව මෙම නිවෙස වෙත පැමිණ තිබූ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවෙස් දෙකේ දෙතුන් දෙනකු සිටින අයුරු නිරීක්ෂණය කර තිබූ කොල්ලකරුවන්, මෙම නිවෙසට පැමිණ වයෝවෘද්ධ කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ඇති අතර, ඇය එය ලබා දීම සඳහා මුළුතැන්ගෙට පිවිසීමේදී නිවෙසේ වෙනත් කිසිදු අයකු නොමැති බවට තහවුරු කරගත් කොල්ලකරුවන්, ඇයගේ කට තද කර පැළඳ සිටි රන් මාලය කොල්ලකා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව රෙදි පටිවලින් එම කාන්තාව බැඳ දමා කාමරයකට දමා, නිවෙසේ උඩු මහලට ගොස්, අල්මාරි කඩා, මෙම දේපොළ කොල්ලකා තිබූ බව පොලීසිය කියයි.



මෙම කොල්ලය සිදු වන අවස්ථාව දී එම නිවෙසේ සිටි ඇයගේ දියණිය මඩපාත ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොල්ලකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රන්ජන සමරසිංහ මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ පොලිස් සැරයන් (75769) ජයතුංග මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ