mihinthale-thera-speaks

මෙවර පොසොන් උත්සවයට රජයෙන් රුපියල් ලක්ෂ 288 ක මුදලක් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළත්, එය පට්ට පල් බොරුවක් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ඊයේ (01) පැවසූහ. උන් වහන්සේ එසේ පැවසුවේ මිහින්තලේ රජමහා විහාර පරිශ්‍රයේ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. ධම්මරතන හිමියෝ මෙසේද සඳහන් කළහ.  රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් ලබා දුන් ආකාරය පිළිබඳව සියලුම මාධ්‍යයන් ඔස්සේ දැනුවත් වුණා. ඔය කියන විදිහට රුපියල් ලක්ෂ 288 මටවත්, මිහින්තලේ විහාරස්ථානයට වත් ලැබිලා නෑ. ඒව දුන්නා නම් දෙන්න ඇත්තේ ජලසම්පාදන මණ්ඩලය හෝ ආරක්ෂක අංශවලට. ඒ කිසිවක් පිළිබඳව මම දන්නෙ නෑ. මේක අමූලික බොරුවක්.

සාවද්‍ය තොරතුරු රටේ ජනතාවට සම්ප්‍රේෂණය කරන්න එපා කියල ජනාධිපති මාධ්‍ය අංශයටයි මම කියන්නේ.

ඒ නිසයි මම අනුරාධපුර මහා දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් ආ පසු ගන්න කියන්නේ. මේ වන විටත් ගාල්ල, මාතර, හම්බන්තොට වැනි ප්‍රදේශ වලින් රථ පෙළපාළිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දානපතියන්ගෙන් මුදල් එකතු කරමින් පැමිණෙනවා. ඒ විතරක් නෙමෙයි. මිහින්තලා පුදබිමට අක්කර 100කට ආසන්න භූමි භාගයක් තියෙනවා. එය විදුලියෙන් ආලෝකවත් කළ යුතුයි. මේ දුෂ්කරඑ කාරිය කිරීම සඳහා මම පිණ්ඩපාතයේ වැඩියා. දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් මේ සඳහා ආධාර උපකාර ලබා දී තිබෙනවා. එපමණක් නෙවෙයි, වන්නිල ඇත්තන්ගේ එක් දවසක ආහාරයට සඳහා යන වියදම ඒ ඇත්තෝ ගෙනත් පූජා කළා. මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධකේ ඉන්න ඇතැම් ඇම්බැට්ටන්යට, කේවට්ටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා ඔබලා මේ රටේ මිනිස්සු රවට්ටන්න එපා. රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. අභියෝග කරනවා සියලුම විදුලි බුබුළු පුළුවන්නම් දාල තියන ගලවන්නම්.

පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න.

විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න. මේ වන විටත් අතිවිශාල මුදලක් රටේ මිනිස්සු මුදල් පරිත්‍යාග කරල තිබෙනවා. මිහින්තලේ කටුසෑයෙන් එකතු කර ගත් පොල් කෑලි වියළා කොප්පරා බවට පත් කරගෙන කිලෝ 2000 කට ආසන්න ප්‍රමාණයක් ලෑස්ති කරගෙන ඉන්නවා. මම කොහොමටත් පොසොන් පෙරහර ඇතුළු සියලුම උත්සව එදා රජ දවසේ තිබුණු ආකාරයටම ඉෂ්ට සිද්ධ කරනවා මේක කිසි කෙනකුට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. මේක මගේ යුතුකමක් වගේම වගකීමක්. යනුවෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියෝ පැවසූහ.

 උපුල් හේරත්