maharagama-gold-theft

රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මහරගම නගර මධ්‍යයේ පිහිටි රන් භාණ්ඩ අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයකු එවා සොරා ගැනීමට යාමේ දී ඊට විරෝධය පෑ එහි සේවකයෙකුට ඊයේ (01) ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි. ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.



මහරගම නගර මධ්‍යයේ පිහිටි රන්භාණ්ඩ අලෙවිසලකට රන් මාලයක් මිලදී ගන්නා මුවාවෙන් පුද්ගලයකු පැමිණ ඇති අතර පසුව ඔහු එහි සේවකයකු සමග කතාබහ කරමින් අලෙවිය සඳහා තබා තිබූ රන්මාල තොගයක් පරික්ෂා කරමින් සිටින අතරතුර දී එක්වරම එහි තිබූ රන් භාණ්ඩ කිහිපයක් සඟවා ගැනීමට උත්සාහ දරනු දුටු සේවකයා ඊට විරෝධය පා ඔහුව අල්ලාගෙන ඇති බව පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී දෙදෙනා අතර පොර බැඳීමක් සිදුව ඇති අතර එහි දී යාබදව රැඳී සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනකු පැමිණ කොල්ලකරු අල්ලා ගැනීමට සැරසීමේ දී සැකකරු අත තිබූ ඇසිඩ් දියරය සේවකයාගේ සිරුරට දමා ගසා මෙසේ පලා ගොස් තිබූ බව පොලිසිය කීය.

ඇසිඩ් ප්‍රහාරයෙන් සේවකයාගේ මුහුණෙහි එක් පසක තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පොලිසිය පවසයි. සේවකයාගේ විරෝධතාවය හමුවේ රන් භාණ්ඩ කොල්ල කා පලා යාමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවත් එසේ නොවන්නට ලක්ෂ ගණනක රන් භාණ්ඩ කොල්ල කා පලා යාමට  ඉඩ තිබූ බවත් සැකකරු පලා ගිය මාර්ගයේ සවිකර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න