medawachchiya-incident

මිය ගිය තම 50 හැවිරිදි බිරියගේ සිරුර එදිනම වළ දැමූ පුද්ගලයකු කැබිතිගොල්ලෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මිය ගිය කතගේ සැමියා 39 හැවිරිදි අයකු වන අතර, ඔහු බිරිය මියගිය දින රාත්‍රියේම ගේ පිටුපස වළක් කපා සිරුර වළ දමා ඇති බවත්, එම මරණ කටයුතු නීත්‍යනුකූලව සිදු කර නැති වීම හේතුවෙන් මේ පුද්ගලයා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් බවත් මැදවච්චිය පොලිසිය පවසයි.
අවසන් කටයුතු කිරීමට තමන්ට මුදල් නැති නිසා මියගිය බිරියගේ සිරුර මෙසේ වළ දැමූ බව සැකකරු පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රක්ෂිත රුමේෂ් අත්තනායක නමැති පළවෙනි පටුමග, පණ්ඩුකාභය පුර, විජය පුර පදිංචි 39 හැවිරිදි අයෙකි.


මියගිය අශෝකා මාලනි නමැති කාන්තාව සති දෙකකට වරක් ඇගේ මව බැලීමට මැදවච්චියට පැමිණෙන බවත්, මීට දින කිහිපයක සිට එසේ නොපැමිණි නිසා ඇතිවූ සැකයට ඇයගේ පවුලේ ඥාතියකු  මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව මැදවච්චිය පොලිස් ස්ථානාධිපති පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහි දී තොරතුරු ලබා දුන් පවුලේ ඥාතියකු ඇය භාවිත කළ දුරකතන අංකය මේ වන විට වෙනත් පුද්ගලයකු භාවිත කරන බව ද පොලිසියට පවසා ඇත.

ඒ අනුව පරීක්ෂණ සිදු කරමින් එම පුද්ගලයා මෙම 50 හැවිරිදි කාන්තාව නීත්‍යනුකූල නොවන විවාහයක් මත අනුරාධපුර ප්‍රදේශයේ නිවෙසක ජීවත්ව සිට ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබුණි. එම දුරකතනය හරහා මෙම ස්වාමියා යැයි කියන 39 හැවිරිදි පුද්ගලයා මැදවච්චියට ගෙන්වා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව 31 දින දින පොලීසියට පැමිණ ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී  තමාට වියදම් කිරීමට සල්ලි නැති නිසා අනියම් බිරියගේ මරණය සැමගෙන් සැඟවූ බවත් තනිවම වළක් කපා සිරුර නිවස අසළ වළ දැමූ බවත් පවසා ඇත.

මොහුගේ ප්‍රකාශ ව්‍යාජ හා සැකසහිතබවට පොලිසිය තේරුම් ගත් නිසා මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පවසා ඇත්තේ තම බිරියට අධික රුධිර පීඩනය ඇති බවත් ඒ සඳහා බෙහෙත් ගෙන දෙන ලෙස පසුගිය 27 වැනිදා ඇය ඉල්ලූ අවස්ථාවේ අතේ මුදල් නොතිබුණු නිසා වරුවකට ආසන්න කාලයක් කුලී වැඩ සිදු කර ලැබුණු මුදලින් පෙෂර් පෙත්තක් ගෙනවිත් දුන් බවයි.
අනතුරුව අනියම් බිරිය කුස්සියේ මිරිස් ගල අසල බිත්තියට හේත්තු වී සිටිනු දැක එම ස්ථානයට ගොස් කතා කරන විට ඇය කතා කරේ නොමැති බවත් අනතුරුව බෙල්ල ප්‍රදේශයෙන් අල්ලා බලද්දී ඇය මියගොස් සිටි බව දැනුණු බවත්ය. අනතුරුව අතේ මුදල් නොතිබීම හේතුවෙන් කාටවත් කිසිවනක් නොදන්වා රාත්‍රී කාලය වන තුරු සිට තමන් සිටි ගේ පිටුපස අඩි 04ක පමණ වළක් කපා තනිවම සිරුර වළ දැමූ බව සැකකරු පාපෝච්චාරණය කර තිබේ.
සිරුර ගොඩගෙන පරීක්ෂණයක් කිරීමට නියමිත අතර සැකකරුගේ මුදල් ප්‍රශ්නය ප්‍රලාපයක් වියහැකි බවත් ඝාතනයක් සැඟවීමට මෙලෙස කර ඇතැයි සැකයක් මතුව ඇති බවත් පොලිසිය පවසයි.


ඒ අනුව එම මරණය ස්වාභාවික මරණයක් ද යන්න පිළිබඳ මරණ පරීක්ෂණය අනුව දැනගත් පසු පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරන්නට සූදානම්ව ඇති අතර සඳහා සැකකරු පෙරේදා (31) සවස අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට මැදවච්චිය පොලිසිය කටයුතු කළේයත සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.