
පන්නිපිටිය බැරෝඩා වත්තේ ජොරානිස් පිරිස් සුසාන භූමියට මෘත දේහ බැහැර කිරීම සඳහා බිම්කඩ පහසුකම් පමණක් නගර සභාවෙන් ලබා දී ඇති බවත් වෛද්‍ය පීඨ පරික්ෂණවලින් ඉවත් කෙරෙන මළ සිරුරු භූමදානය කිරීමේ කාර්යය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවකින් සිදුකර ඇති බවත්
එම ආයතනයෙන් මෙසේ අධිමත් ලෙස මළසිරුරු පරිසරයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බවත් මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා පැවසීය.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ බලධාරීන්ගෙන් විමසීමක් සිදු කොට මහරගම දෙහිවල පාරේ පිහිටි මල් ශාලාවේ හිමිකරු කැඳවා ප්‍රකාශයක් ලබා ගත් බව ද ලේකම් වරයා කීය.
එම තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරියට හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කිරීමට පියවර ගත් බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
අවමංගල්‍ය ශාලාවල මෘත දේහ එම්බාම් කිරීමෙන් අනතුරුව බැහැර කෙරෙන අපද්‍රව්‍ය සුසාන භූමි වල භුමදාන කිරීම සඳහා පළාත් පාලන ආයතන වලින් මල් ශාලාවලට අවසර ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයක්. ඒ අනුව වාර්ෂික ගෙවීමකට යටත්ව නිසි ක්‍රමවේදයට මළ සිරුරු කොටස් බැහැර කිරීමට මහරගම - දෙහිවල පාරේ පිහිටි රෝහිණී මල් ශාලාවට අවසරය දී තිබුණා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලින් පසුව ඉවත් කෙරෙන මළ සිරුරු භූමදාන කිරීමේ වගකීම ද එම මල් ශාලාවෙන් භාරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නගර සභාව ලිඛිතව දැනුවත් කොට අදාළ පාර්ශ්ව දෙක ගිවිසුමකට ද එළඹ තිබෙනවා.
එහිදී වෛද්‍ය පීඨයෙන් ඉවත් කෙරෙන මළ සිරුරු හා එහි කොටස් කළු පැහැති පොලිතීන් කවරයක බහා මුදා තබා නිර්දේශිත ගැඹුරකින් යුත් වළක් කපා භූමදානය කිරීමටයි වෛද්‍ය පීඨ නීති අංශය මල් ශාලාවට උපදෙස් ලබා දී තිබෙන්නේ. ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකර ඉන් අදාළ සිරුරු කොටස් සුසාන භූමියට රැගෙන විත් මෙසේ අවිධිමත්ව හා අනාරක්ෂිත ලෙසින් පරිසරයට මුදා හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ අදාළ ආයතන දෙකෙන් කරුණු විමසා වගකීම් විරහිතව කටයුතු කළ මශාලා හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන පූර්ණ විමර්ශනයක් කිරීමට පියවර ගත්තා. මේ අතර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙස මට උපදෙස් දී තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ද අදාළ වාර්තාව 14 දා ලබාදීමට පියවර ගන්නවා. ඉන්පසුව ලැබෙන උපදෙස් අනුව මෙම මල්ශාලාවට එරෙහිව අවශ්‍ය පියවර ගන්නවා යැයි මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා පැවසීය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval