
“ලාංකික ජනතාව අතර හමේ පිළිකා ඇති වීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් තිඛෙනවා. එයට බොහෝ සෙයින් බලපා ඇත්තේ, හම සුදු කරගැනීම සහ පැහැපත් කරගැනීම සඳහා සෞඛ්‍යයට අහිතකර, අනුමත නොකරන ලද ඖෂධ සහ රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ගවලට රටේ ජනතාව නැඹුරු වී සිටීමයි.” යැයි, චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවැසුවාය.
“හම ගැන කතා කරන විට සෑම මිනිසකුටම හමේ වර්ණය ලැබෙන්නෙ ජාන නිසා බව අමතක නොකළ යුතුයි. අපට ජානමය වශයෙන් උරුම වන ශරීරයේ මෙලනි ක්‍රියාවලිය අනුවයි හමේ වර්ණය ලැබෙන්නේ එවැනි හමක් ඖෂධ, ආලේපන මගින් සුදු කර ගැනීමට යාමෙන් වන්නේ බරපතළ රෝගී තත්ත්වයකට මග පාදා ගැනීමයි." යැයි ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
“ඔබේ සමේ පැහැය ඔබේ. අනන්‍යතාවයයි” මැයෙන්, කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය එසේ පැවැසුවාය. එහිදී විශේෂඥ වෛද්‍යවරිය මෙසේ ද කීවාය. " ඝර්ම කලාපීය රටවල මිනිසුන්ට තලෙලු පෙනුම ලැබී තිබෙන්නේ හිරු එළියෙන් හම ආරක්‍ෂා වන ආකාරයටයි. ස්වභාව ධර්මයේ පැවැත්මට අවනත වන ආකාරයටයි එය සිදුව තිබෙන්නේ. සෑම මිනිසකුගේම සම දින 28කට වරක් අලුත් වෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීයි සමහරුන් සම සුදු කරන ආලේපන භාවිත කරන්නේ. මේ වන විට හම සුදු කරගැනීමේ ප්‍රවණතාව තවත් සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙනවා. රූපලාවන්‍ය පනත සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එවැනි පනතකින් හැර ශරීර සෞඛ්‍යයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග ජනතාව අතරට යාම වළක්වාගත නොහැකියි."
ශ්‍රී ලංකා ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය එහිදී මෙසේ කීවාය.
“අද වන විට ආලේපන මගින් හම සුදු කරගැනීමේ මිත්‍යා උන්මාදයක් සමාජගත වෙලා. ඇගේ හම සුදු පාට නැත්නම් විවාහයක් කරගන්න බෑ, රක්ෂාවක් ලබා ගන්න බෑ කියන මිත්‍යා මතයකුත් සමාජගත වෙලා. මෙම උන්මාදයට හසුව සිටින සමාජයේ බොහෝ පිරිසක් අද විවිධ වර්ගයේ රසදිය බහුල ආලේපන භාවිත කරනවා. මේ නිසා පිළිකා සහ වකුගඩු රෝග ඇති වීමේ ප්‍රවණතාවක් මතු වෙලා. මෙම ආලේපන භාවිතය නිසාවෙන් බොහෝ දෙනකට සමේ දිලීර රෝග තත්ත්වයන් ,සම වයස්ගත වීම වැනි අතුරු ආබාධ මතු වෙමින් තිබෙනවා.
හම සුදු කරගැනීම උන්මාදයක් කරගෙන අමාරුවේ වැටෙන්න එපා. හම සුදු වීම සඳහා අනුමැතියකින් තොර ආලේපන භාවිතයට ගැනීම භයානකයි. රූපලාවන්‍ය පනත තාමත් බලාත්මක වී නොමැති කමින් නීතියේ සිදුරුවලින් රිංගා වැඩ කරන බලවතුන් සිටිනවා. මෙවැනි පනතක් බලාත්මක නොමැතිකමින්, අද වන විට තමන්ගේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන පිටුපස ආලේපන හදන ව්‍යාපාරික පිරිසුත් සිටිනවා. මෙම තත්ත්වය ගැන රටේ ජනතාව දැනුම්වත් වීම අවශ්‍යයි." සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා, ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය ද අදහස් දැක්වූවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval