horana-water-trouble

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් ජලය සැපයෙන හොරණ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මේ දිනවල ප්‍රමාණවත් පරිදි ජලය නොලැබීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්ල පාරිභෝගිකයෝ චෝදනා කරති. දැනට සති දෙක තුනකට පෙරාතුව සිට අඩු ජල පීඩන තත්ත්වය සවස 6.00 සිට 10.00 පමණ වන තෙක් පැවති අතර ඉන්පසුව එම කාලයට අමතරව පෙරවරුවේ 6.00 සිට 8.00 දක්වා තවත් පැය ගණනකින් වැඩිවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මේ කාලය තුළ ජලය බාල්දියක් පුරවා ගැනීමට බොහෝ වේලාවක් ගතවන බවත් සනීපාරක්‍ෂක කටයුතු සඳහා අත්‍යවශ්‍යම මොහොතේ ජලය නොලැබීම නිසා පාසල් දරුවන් මෙන්ම රාජකාරි සදහා යනෙන පිරිස්ද දැඩි අපහසුතාවකට පත්ව ඇත.



මීට අමතරව මේ දිනවල දිවා කාලයේදීද වරින් වර ප්‍රමාණවත් පරිදි ජලය නොලැබෙන අතර, දිනපතා හොරණ නගරයට පැමිණෙන දහස් ගණන් පොදු මහජනතාව, ආපන ශාලාවලට මෙන්ම නිවාසවලටත් මේ දිනවල සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන පැවැත්වෙන ඇතැම් පාසල්වලටද දහවල් කාලයේ ජල සැපයුම ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් පීඩාවට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ කඳන ජල පවිත්‍රාගාරයේ ස්ථාන භාර නිලධාරී ඉංජිනේරු චන්දන සෙනෙවිරත්න මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.

"කදන ජලපවිත්‍රාගාරයෙන් මේ වනවිට  හොරණ බලප්‍රදේශයට අමතරව පානදුර, පිළියන්දල සහ මොරටුව බලප්‍රදේශවලටද ජලය සපයනවා.

කදන ජල පවිත්‍රාගාරයේ දිනකට සැපයිය හැක්කේ ඝන මීටර් 120,000 ක් පමණක් වුවත් ඉංජිනේරුම දායකත්වය, සේවක කැපවීම, කාර්යක්‍ෂමතාවය මේ ආදිය උපයෝගී කරගෙන දැනට ඝන මීටර් 140,000ක සැපයුමක් ලබාදෙනවා. එය නිෂ්පාදන ධාරිතාවය 120%ක අගයක් ගන්නවා. කෙසේ නමුත් ත්මේ ආකාරයට වරින් වර අඩුපීඩන තත්ත්වයකින් ජලය ලැබෙන්නේ ප්‍රමාණවත් තරම් ජල ධාරිතාවක් නොමැති නිසා. ඉදිරියේ වියළි කාලගුණයක් පැවතුණහොත් තත්ත්වය තවත් උග්‍ර අතට පත්විය හැකියි”
 මංගල එදිරිසිංහ