
කිසියම් ආයතනයකට ලබා දී තිබූ කැණීම් බලපත්‍රයක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට නොදන්වා, ඩොලර් කෝටි නවයකට වෙනත් පුද්ගලයකුට හොර රහසේ විකුණා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. ඇතැම් ආයතනවලට ලබා දී ඇති අපනයන ඛනිජ සඳහා වන කැණීම් බලපත්‍ර, කාර්යාංශය හා ලේකම්වරයාට දැනුම්දීමකින් තොරව වෙනත් පුද්ගලයන්ට පවරා ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා පසුගියදා රැස්වූ එම කාරක සභාවේ දී සඳහන් කළේය.
එම තොරතුරු කඩිනමින් විගණකාධිපතිවරයාට ලබා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මාධ්‍ය හමුවක් පවත්වා කෝප් කමිටුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිළිබඳව කමිටු සභාපතිවරයා එහිදී කරුණු විමසීය. එහිදී අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ එම මාධ්‍ය හමුවේ දී කෝප් කමිටුව විවේචනය කිරීමේ අරමුණක් නොතිබූ බවයි. එම සාකච්ඡාවේ දී පළ කෙරුණු අදහස් හේතුවෙන් යම් ආකාරයක අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව සමාව අයැද සිටින බව ද කාර්යාංශයේ සභාපතිවරයා සඳහන් කළේය.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පෙරේදා (13) කැඳවනු ලැබූහ. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේ දීය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රධානීන් එම කමිටුව හමුවට මාස කිහිපයක් ඇතුළත කැඳවනු ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි.
කාර්යාංශය සමග නිරන්තර අවධානයෙන් සිටිමින් එහි කටයුතු අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කෝප් කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.එම්. එම්. මුෂාරෆ් යන මහත්වරු ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආර්. සංජීපන් සහ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම රැස්වීමට සහභාගී වූහ.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval