colombo-megestrate-court

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ අංක 06 උසාවියේ කාර්ය මණ්ඩලය උසාවිය වසා දමා එහි යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍යයට සහභාගීවීම හේතුවෙන් එම අධිකරණයේ නඩු කටයුතුවලට පැමිණි ජනතාව ඊයේ (01) දැඩි අපහසුතාවට පත් වූහ. උදෑසන නඩු කටයුතුවලට පැමිණි ජනතාව එම අධිකරණය වසා තිබීමෙන් නඩු කටයුතු පැවැත්වෙන්නේ කුමන අධිකරණයක ද යන්න නොදැන දුෂ්කරතාවට පත්ව එහෙ මෙහෙ ඇවිද යන අයුරු දැකගත හැකි විය.



පසුව එම අධිකරණයට නියමිත නඩු අංක 2 අධිකරණයේ අඬ ගැසෙන බව නිතීඥවරුන් මගින් දැනගත හැකි වූයේ යැයි ඔවුහු පැවසූහ. “අංක 06 අධිකරණයේ නඩු 2023 ජුනි මස 01 දින පමණක් නොකැඳවන බවට මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි රෙජිස්ට්‍රාර්" වශයෙන් සඳහන් දැන්වීමක් අධිකරණ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබෙනු ද දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් අධිකරණයේ මෝෂන් නඩු කැඳවීම පෙරවරු 9.30ට පෙර සිදුකළ යුතුව ඇතත්, මෙම සිදුවීමෙන් අපහසුතාවට පත් එම අධිකරණයට පැමිණි නිතීඥවරු ඔවුන්ගේ සේවාදායකයන්ගේ නඩු සඳහා වන මෝෂන් පත් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා විය.

පසුව, එම අධිකරණයට අයත් මෝෂන් නඩු කැඳවීම ඊයේ පෙරවරු 11.00 තෙක් දීර්ඝ කිරීමට කටයුතු කළ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා එම නඩු අංක 02 අධිකරණයේ කැඳවීමට දැනුම් දී  තිබිණි.

නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පැමිණි නිතීඥවරයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට දුරකතනයෙන්  දැනුම් දී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අධිකරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, එම අධිකරණය වසා තිබීම සම්බන්ධයෙන් ලිඛිත පැමිණීල්ලක් ලැබී නැති බවයි. මෙම අධිකරණය වසා තිබීම  සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, එම අධිකරණයේ කාර්ය මණ්ඩලය විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා නිවාඩු ලබාගෙන ගොස් ඇති බවය.
 නිමන්ති රණසිංහ