කොලරාඩෝ හි පැවති එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඩිප්ලෝමා ප්‍රදානය කරමින් සිටියදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පය පැකිලී ඇද වැටීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන බයිඩෙන් මහතා වැටුණ පසු දෙපයින් නැඟී සිටීමට ආරක්ෂකයින් උපකාර කරන ලද අතර ඔහුට හානියක් නොවීය.



මෙම සිද්ධිය සිදුවන්නේ උපාධිධාරී ශිෂ්‍යභටයින් 921 දෙනාටම අතට අත දීමට ජනාධිපතිවරයා පැය එකහමාරක් පමණ සිටගෙන වෙහෙසට පත්ව සිටි අවස්ථාවකය.
ඔහු ගමන් කරන ස්ථානය පහළ වේදිකාවේ කළු වැලි කොට්ටයක් තිබු අතර වේදිකාවේ ගමන් කරමින් සිටියදී කළු වැලි කොට්ටය මත පය පැටලී ඇති බව හඳුනාගන්නට ලැබේ. ජනපතිවරයාගේ කතාවට අදාළ ටෙලිප්‍රොම්ප්ටරය මුක්කු කිරීමට භාවිතා කරන ලද වැලි කොට්ටයක මෙම පැටලීම සිදුවිය.
 80 හැවිරිදි ජනපතිවරයා ඊළඟ ඇමරිකානු ජනපතිවරණයට තරග කරන්නටද අපේක්ෂා කර තිබෙන අතර
මෙම සිද්ධියත් සමග විවේචකයින් පවසා ඇත්තේ බයිඩෙන් මහතා ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා තරඟ කිරීමට වයස වැඩි බවයි.
මෑත සමීක්ෂණවලින් පෙනී යන්නේ එක්සත් ජනපද ඡන්දදායකයින්ගෙන් බහුතරයක් ඔහුගේ වයස ගැන සැලකිලිමත් වන බවයි. ඔහු ජයග්‍රහණය කළහොත් දෙවන වාරය ආරම්භ වන විට ඔහුට වයස අවුරුදු 82 කි.

මෙම වැටීමට පෙර, ජනපතිවරයා තමාගේ බයිසිකලයෙන් ව්‍යායාම කරද්දී සහ එයාර් ෆෝස් වන් පඩිපෙළ ඉහළට යන අවස්ථාවක ඇදවැටීම් වාර්තා කළේය.
Video Below