canada-wtc-office-arrested

කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කැනඩාවේ විශ්වවිද්‍යාලයන්හි ඉගෙනීම් කටයුතු වලට යවන බව පවසා දෙසීයක් පමණ පිරිසක් රවටා රුපියල් ලක්ෂ ගණනක මුදල් වංචා කොට ඇති බව කියන සැකකරුවෙකු හා සැකකාරියක් මේ මස 19වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (05දා) නියෝග කළේය. නිෂාමුදීන් මොහොමඩ් නිම්ෂර් හා කේ.කේ.තුෂාරීනී නිරංජලා යන  දෙදෙනෙකු එසේ රිමාන්ඩ් කෙරිණි.



නිට්ටඹුව ජය මාවත දංගොල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි ඩී.ඇම්.දර්ශනී ප්‍රසංගිකා නමැත්තියකට කැනඩාහි විශ්වවිද්‍යාලයක ඉගෙනීම් කටයුතු සඳහා යවන බව පවසා ඇයගෙත් අත්තිකාරම් වශයෙන් රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාගෙන වංචා කොට ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් මූලික පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳව කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගත් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.



ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්.ඒ එස්.එල්. ගුණසේකර මහතා කරුණු දක්වමින් සැකකරු හා සැකකාරිය ඇතුළු පිරිසක් කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි කාර්යාලයක් පවත්වා ගෙන යමින් මේ මහා පරිමාණ වංචාව කරගෙන ගොස් ඇති බව කියා සිටියේය. මේ වනවිට මොවුන්ගේ වංචාවන්ට හසු වී ඇති පුද්ගලයන් දෙසීයක් පමණ දෙනා කොළඹ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කොට තිබෙන බවත්, මොවුන් මේ මහා පරිමාණ වංචාවන් සිදු කිරීමෙන් අනතුරුව එම කාර්යාලය ද වසා පැන ගොස් සිටි බවත් පොලිස් සැරයන්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

මේ මහා වංචාවන්ට මොවුන් දෙදෙනාට අමතරව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ඔවුන් පදිංචි ස්ථානවලින් පැන ගොස් ඇති බවද පොලිස් සැරයන්වරයා සඳහන් කළේය. නැවත කැදවීම මේ මස 19වැනිදාට කල් තැබිණි. ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්.ඒ.එස්.එල් ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙය විය.

ආනන්ද ඉ ජයකොඩි