buddhist-elephant-statue

නැගෙනහිර ඉන්දියාවේ දයා ගං ඉවුරේ පිහිටි ගම්මානයක් ගවේෂණය කරමින් සිටි පුරාවිද්‍යා කණ්ඩායමක් වසර 2300ක් පැරණි බෞද්ධ අලි ප්‍රතිමාවක් සොයා ගෙන ඇති බව Live Science වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ප්‍රතිමාව සොයා ගත් ඉන්දීය ජාතික කලා හා සංස්කෘතික උරුමය (INTACH) කණ්ඩායම පවසන්නේ එය සොයාගත් ප්‍රදේශය බෞද්ධ පුරාවස්තු වලින් පොහොසත් බවයි.
ප්‍රතිමාව දළ වශයෙන් අඩි 3ක් පමණ උස වන අතර ගලින් නෙළා ඇත. එම ගම්මානයේදීම කණ්ඩායමට පෞරාණික බෞද්ධ විහාරස්ථානයක කොටස් ඇතුළු තවත් පුරාවස්තු හමු විය.

බුද්ධාගම උතුරු ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව 5 හෝ 6 වැනි සියවසේදී පමණ ආරම්භ වූ බවත්, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම් ව්‍යාප්ත වීම ආරම්භ වූ ක්‍රිස්තු වර්ෂ 2 වන සියවස දක්වා ප්‍රදේශයේ ප්‍රමුඛ ආගම වූ බවත් පවසන ඉතිහාසඥ අනිල් ධීර් මෙය බෞද්ධ ප්‍රතිමාවක් බව නිසැකව හඳුනාගෙන ඇත.
"මෙම ප්‍රදේශය මෙහි සමෘද්ධිමත් වූ පුරාණ බුදුදහමේ කෞතුක වස්තු වලින් පොහොසත් ය. Dhaulagir ට ආසන්නව දයා නදිය ප්‍රදේශය පර්යේෂකයන්ට වැදගත් වන්නේ එය කලෙක බුදුදහමේ පුරාණ කේන්ද්‍රස්ථානයක් වූ බැවිනි. ප්‍රදේශයේ පුරාණ වැසියන්ට බුදුදහමේ වැදගත්කම මෙන්ම එහි විකාශනය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වන අලි ප්‍රතිමාව වැනි කෞතුක වස්තු සොයා ගැනීම අප කන්ඩායම ලද ජයග්‍රහණයකි‘ ඔහු පැවසීය.



ඉන්දියාවේ 2011 සංගණනයට , ඉන්දියාවේ නූතන ජනගහනයෙන් 0.7% ක් පමණක් බෞද්ධයන්ය, නමුත් හින්දු උත්සවවලදී බුදුදහමේ හැඩරුව දක්නට ලැබේ.

අලියා බුද්ධාගමේ සහ හින්දු ආගමේ වැදගත් සංකේතයකි. මෙම සංකේතය වරෙක රාජකීයත්වයට සමාන වූ අතර වර්ෂාව සහ සශ්‍රීකත්වය සංකේත කර ඇත.බෞද්ධ සාහිත්‍ය කතාවකින් කියැවෙන්නේ, පසුව බුදු බවට පත්වන සිද්ධාර්ථ ගෞතමයන්ගේ මව ගැබ්ගෙන සිටියදී සුදු අලියෙකු තම කුසට ඇතුළු වන ආකාරය දර්ශනය වූ බවයි.
මීට අමතරව, සමහර බෞද්ධ කථා පවසන්නේ බුදුන් වහන්සේ වෙනත් ආත්මවල ඇතෙකු ලෙස ජීවත් වූ බවයි. බුදුන් සතුරන්ගෙන් බේරාගන්නට ඉදිරිපත්වූ ඇතකු ගැනද සාහිත්‍යෙය් සඳහන්ය.
සොයාගැනීම කළ පුරාවිද්‍යා කණ්ඩායම කෞතුක වස්තු අධ්‍යයනය කර ඒවා සංරක්ෂණය කිරීමේ මූලිකත්වය ගන්නා ලෙස රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
දයා ගං නිම්නය බොහෝ විට සුළි කුණාටු සහ ගංවතුර වලට ලක්වන අතර කාලගුණික තත්ත්වයන් දුෂ්කර වීමට පෙර පුරාවිද්‍යා කණ්ඩායම ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වේ.

දයා ගං නිම්නයේ ගංවතුර තැනිතලා ප්‍රදේශයේ සංස්කෘතික, ආගමික සහ ඓතිහාසික වැදගත්කමකින් යුත් තවත් කෞතුක වස්තු වැළලී ඇති බව ඔවුන් විශ්වාස කරන බැවින්, එම කණ්ඩායම ප්‍රදේශය පිළිබඳ අධ්‍යයනය දිගටම කරගෙන යාමට කැමැත්ත පළ කර ඇත.