RM-PARKS-SRI-LANKA-OPERATION-BEGINS

මෙරට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා රජය සහ ඇමරිකාවේ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (08 ) අත්සන් කෙරිණි.



විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම්. පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් ජනාධිපතිවරයා ඉදිරියේ එම ගිවිසුමට අත්සන් තැබූහ.



බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමග එක්ව දින 45කදී මෙරටදී සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම සමාගමට ලබාදීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 150කි. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් එක්ව සිටියහ.

මෙම RM Parks අඇමරිකානු සමාගමට අමතරව ශ්‍රී ලංකාව සමග ඛනිජ තෙල්  කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට  චීනයේ
Sinopec Fuel Oil Lanka (Private) Limited හා ඕස්ට්‍රෙලියාවේ United Petroleum Pty Ltd සම්බන්ධවී සිටී.