balapitiya-father-inprisned

සිය එකොළොස් හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතළ වැඩසහිත වසර 110 ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙසද, දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙක බැගින් ලිහිල් සිර දඩුවම් ලබාදීමටද බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ(5දා) නියෝග කළේය.

මෙසේ සිර දඬුවම්, වන්දි මුදල් සහ  දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි පියකුටය.

සැකකාර පියා 2008 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අවස්ථා ගණනාවකදී සිය දියණියට බරපතළ ලිංගික අපයෝජන කළේ යයි කියමින් ඌරගස්මංහන්දිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. මව විදෙස් ගතව සිටි කාලයේ සෑම දිනකම බීමතින් පැමිණෙන සිය පියා තමා අපයෝජනයට ලක් කළ බව දියණිය අසල්වාසී වැඩිහිටි කාන්තාවකට දැනුම්  දීමත් සමගම ඒ සම්බන්ධයෙන් ඌරගහ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඌරගස්මංහන්දිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකාර පියා සැකපිට පශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයේ චෝදනා ගොනු කොට නඩු පවරන ලදි.

රජයේ අධිනීතිඥ සෞම්‍යා විජේසිංහ මහත්මිය මේ නඩුව මෙහෙයවූ අතර ඌරගස්මංහන්දිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උපපොලිස් පරීක්ෂිකා නන්දාවතී මහත්මිය මෙහි විමර්ශන කටයුතු කළාය.
එම්.සුසිල් ප්‍රියන්ත