al-exam-month

අ.පො.ස (උසස් පෙළ)  විභාගය පැවැත්වීම සදහා  නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එය වෙනස් කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර

එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් අනතුරුවය.



වසර 13ක කාලයක් ළමුන් පාසල් අධ්‍යාපනයේ රඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමුකළ අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කළේය. ලොව සංවර්ධන සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා පැවසීය. එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ සාක්ෂාත් කර ගැනීමේදී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බළකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.



මෙරට මානව සම්පත පෙළගැස්වීම අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බළකායක් ගොඩ නැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනකුගෙන් සමන්විත අධ්‍යාපන අමාත්‍ය කමිටුව පත්කර තිබේ. ඊට සහාය වීම සඳහා පත්කර ඇති මෙම විශේෂ කමිටුව මගින් පූර්ණ ළමාවිය සහ පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තිය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05  ඔස්සේ කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාවේ දී ජනාධිපතිවරයා වෙත බාරදීමට ද නියමිතය.
අංජුල මහික වීරරත්න