dambulla-incident

තම පස් හැවිරිදි දියණියට සහ හත් හැවිරිදි පුතාට අමානුෂික ලෙස පහරදුන් පියා නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටිය දී අසල්වැසියකුගේ දැනුම්දීම අනුව බේරාගෙන දරු දෙදෙනා සමග දඹුල්ල රෝහලට ඇතුළත් කළ‍ බව දඹුල්ල පොලිසිය කියයි. දරුවන් දෙදෙනාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. ගෙල සිරවීම නිසා පියා ද දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම දරුවන්ගේ මව දැනට විදේශගතව සිටින අතර දරුවන් දෙදෙනා පියාගේ රැකවරණ යටතේ හැදී වැඩී ඇත.



දඹුල්ල ලෙනදොර නයාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම දරුවන් දෙදෙනාට පියා ඉතා අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහර දී ඔහු ද ගෙල වැළලා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. දරුවන් දෙදෙනාට මීට පෙර ආකාරයෙන්ම පහර දී දරුවන් ඝාතනය කරන බවට තර්ජනය කරමින් විදේශ රටේ ගෘහ සේවයේ යෙදී සිටින බිරිඳට පින්තූර සහ වීඩියෝ යවා ඇත. පසුව පොලිසිය ගෙන්වා ඔහුට දැඩි ලෙස අවවාද කළ බව පොලිසිය පවසයි.

අසල්වැසියකු සඳහන් කළේ තමන් අවමඟුල් ගෙදරකට සහභාගි වීම සඳහා සූදානම් වෙද්දී දරුවන් දෙදෙනාගේ විලාපයක් ඇසී ඒ පිළිබඳව සොයා බැලීමේ දී මෙම දරුවන්ගේ පියා පිටුපස කාමරයේ ගෙල වැලලාගෙන සිටින අයුරු දුටු බවත් දරුවන් දෙදෙනා ඉස්තෝප්පුවේ පුටුවක් මත ලේ පෙරාගෙන සිටින අයුරු දැකීම නිසා අසල්වාසීන් සමග එක්ව තිදෙනා දඹුල්ල රෝහලට යොමු කිරීමට පියවර ගත් බවය. ගෙල වැලලාගත් පියා ඔහුගේ බිරිඳ විදේශ රටකට යැවීමට උනන්දු කළ බවත් ප්‍රදේශවාසියෙක් පැවැසීය.

පුංචි දරුවන් දෙදෙනාගෙන් එක් අයකු 2 වසරේ ඉගෙනුම ලබන බවත් අනෙක් දරුවා පෙර පාසල් යන බවත් පොලිසිය කියයි. සැකකාර පියා සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. මෙම සිද්ධිය පිළිබඳව දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 කාංචන කුමාර ආරියදාස