akmeemana-child-death

“අපි මළ ගෙදරක ගිහින් හිටියේ. දරුවට දාඩිය දලා නිසා හුළං ටිකක් වදින්න එළියට ආවා. ඒ ආපු වේලේ තමයි හිතාගන්න බැරි වේලාවක කොස් ගෙඩිය දරුවාගේ ඔළුවට වැටුණේ. කොස් ගෙඩිය මගේ ඇගෙත් වැදිලා දරුවාගේ ඔළුවේ වැදුණා.”

එසේ කීවේ කොස් ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අවුරුද්දකුත් මාස එකක් වන වයසැති දෙවිනි ලිෂාරා සමරසේකරගේ මව වන සචින්තා පියුමන්ති ය.



මෙම දැරියගේ මව සහ පියා දැරියත් කැටුව ඥාති නිවෙසක අවමංගල උත්සවයකට සහභාගිවීම සඳහා ගොස් තිබිණි. දැරියට දාඩිය දැමීමත් සමග මව දැරියත් වඩාගෙන මළ ගෙදර පැවති නිවෙසේ ගෙවත්තේ ඇවිදමින් සිට ඇත. ඒ සමග කොස් ගසක තිබූ ගෙඩියක් නොසිතූ මොහොතක කඩාගෙන මවගේ සහ දැරියගේ හිස්මතට වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. එහිදී මවත් සුළු තුවාල ලබා ඇති අතර කොස් ගෙඩියේ බර කිලෝ අටක් පමණ වන බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය විණි.

මියගිය දැරියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරණු ලැබීය. මියගිය දැරියගේ මව වන සචින්තා පියුමන්ති මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් වැඩිදුරටත් මෙසේ කියා සිටියාය.

“මා යක්ගහ වසමේ ග්‍රාම නිලධාරිවරිය ලෙස රාජකාරි කරනවා. පසුගිය 30 වැනිදා තමයි අපි මළ ගෙදරකට සහභාගි වෙන්න ගියේ. අවසන් කටයුතු තිබුණේ පසුගිය 31 වැනි දා. එනිසා හවස්වරුවේ 1.30ට විතර මළ ගෙදරට සෙනඟ ආවා. දරුවාට දහඩිය දමන නිසා දරුවා හොඳටෝම ඇඬුවා.

මම දරුවා වඩාගෙන මිදුලට ආවා. අපි මිදුලේ ඇවිදමින් සිටියේ. පාරක් වගේ තැනක තමයි හිටියේ. වාහනයක් ආපු නිසා පාරෙන් අයින් වුණා. ආයේ පාරට අඩිය තියනවා එක්කම කොස් ගෙඩියක් මගේ හිසේ වැදිලා දරුවාගේ ද හිසේ වැදුනා. මගේ අතේදීම දරුවාට සිහිය නැති වුණා. දරුවා කරාපිටිය රෝහලට රැගෙන ගියා. දරුවාගේ හිස ශල්‍යකර්මයකටද ලක් කරලා සතියක් වගේ හිටියා. ඒ ඉන්නකොට තමයි දරුවා නැති වුණේ.’’

පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යූ.සී.පී. පෙරේරා විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා මොළයට වූ තුවාල නිසා ඇතිවූ සංකූලතා හේතුවෙන් මෙම මරණය වී ඇති බවට තීන්දු කළේය.

සුනිල් ජී. මැටරඹ - හිනිදුම, යූ.එම්. තිලකරත්න - ලබුදුව,රවීන්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම -එච්. එම්. සමන් - අක්මීමණ