nandalal-weerasinghe-speaks

ශ්‍රී ලංකා මහබැංකුව මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම නිසා ඉදිරියේදී වාණිජ බැංකු ද පොලී අනුපාත පහත දමනු ඇතැයි මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (01) පැවසීය.

වාණිජ බැංකු ණය මත අය කරන පොලිය අඩු කළහොත් පෞද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ ගොස් වාණිජ බැංකු ණය ප්‍රමාණය ඉහළ ගොස් වාණිජ බැංකු ණය ප්‍රසාරණය වනු ඇතැයි ආචාර්ය වීරසිංහ මහතා මහබැංකු ශ්‍රවණාගාරයේ දී ඊයේ (1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

ණය පොලිය අධික ලෙස ඉහළ යාම නිසා ඉකුත් කාලයේ දී පෞද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය අඩු වී තිබූ බව ද ඔහු කීය. මේ අතර ලබන ජූලි මස අවසන් වන විට රටේ උද්ධමනය සියයට 10කට වඩා අඩු හෙවත් තනි ඉලක්කමක මට්ටමකට පත්වනු ඇතැයි පුරෝකතනය කරන බව ද අධිපතිවරයා පැවසීය.මාස කීපයකට පෙර ඉතා ඉහළ අගයකට ගොස් තිබූ උද්ධමනය මේ වනවිට අපේක්ෂා කළ මට්ටමටත් වඩා අඩුවෙමින් තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා කීය.
පෞද්ගලික අංශයට ලබාදෙන ණය ප්‍රමාණය ඉහළ යනු ඇතැයි ද එහිදී මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය. රුපියල් ශක්තිමත්වීම හේතුවෙන් ආනයන භාණ්ඩවල මිල ඉදිරි කාලයේදී තවදුරටත් පහළ යාමක් අපේක්ෂා කරන බව ද ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා කීය.

මේ වසරේ මුල් මාස හතර තුළ වෙළඳ භාණ්ඩ අපනයනය සඳහා වූ විදේශ වෙළෙඳපොළ ඉල්ලුම පහළ යෑමේ බලපෑම නිසා වෙළෙඳ හිඟය සැලකිය යුතු මට්ටමකින් අඩු වූ බව ද ඔහු සඳහන් කළේය. මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි 300 ඉක්මවා තිබෙන බව ද මහබැංකු අධිපතිවරයා කීය. එම දළ නිල සංචිත ප්‍රමාණයට චින මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරුව ද ඇතුළත්ව ඇතැයි මහබැංකු අධිපතිවරයා කීය.ආනයන සීමා කිරීම තවදුරටත් ලිහිල් කර එම සීමා ක්‍රම ක්‍රමයෙන් ඉවත් කරන්නැයි මහ බැංකුව ආණ්ඩුවට උපදෙස් දුන් බව ද අධිපතිවරයා පැවසීය. මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ පොළ හරහා ඇමෙරිකානු ඩොලර් කෝටි 167ක් ලබාගෙන තිබෙන බව ද අධිපතිවරයා කීය.
රංජන් කස්තුරි