400-wealth-gov

ණය නොගෙවූ දේපළ පවරා ගැනීම පිළිබඳ පරාටේ නීතිය යටතේ  කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපළ අත්පත්කර ගැනීම් සහ වෙන්දේසි කිරීම් හාරසියයක් මේ වසරේ පළමු මාස හතරේදී සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවසීය.

මෙය කනගාටුදායක තත්වයක් බව පැවසූ විපක්ෂනායකවරයා මේ පරාටේ නීතිය රටේ ආර්ථික තත්වය ගැන සිතා තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටියේය.

එම නීතිය යුගයට සරිලන පරිදි වෙනස් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.  ඉහළ බැංකු පොළිය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි පීඩනයට පත්ව සිටින බවත් එම ව්‍යාපාරිකයන්ගේ ණය යම් මට්ටමකට කපා හැරීමට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා කීවේය. ලීසිං කොම්පැණිකරුවන් අනීතිකව වාහන ඉස්සීම වැඩිවී ඇතැයිද මෙය අශෝභන වාහන මංකොල්ලයක් යැයි ද ඔහු පෙන්වා දුන්නේය.



ආයෝජන ව්‍යාපෘති සඳහා යෑමට බාධාවක් වී ඇති ලක්ෂ පහේ සීමාව ලක්ෂයක් දක්වා අඩු කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත කඩා වැටෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ඇඟලුම් ඇණවුම් කලට වේලාවට සපුරා දීමට නොහැකිවී ඇති බවත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගැන රජය මීට වඩා අවධානය යොමු කල යුතු බවත් ඔහු සඳහන් කලේය.
අංජුල මහික වීරරත්න