vihara-pabara-kalutara-balika-principal

පසුගියදා රට තුළ කථාබහක් නිර්මාණය කළ කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් වැටී මියගිය විහාරා නිර්මාණි සිසුවිය හා ඊට සම්බන්ධවූ පබාරා ඉමන්දි සිසුවිය ඉගෙනුම ලැබූ කළුතර බාලිකා විද්‍යාලයේ විනය සම්බන්ධ විවිධ කථිකා නිර්මණය වීමෙන් පසු​ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ තුශිනි වීරකෝන් පසුගිය මැයි 12 සිට ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයට මාරුකර යවා තිබේ.
මෙම මාරුව ආදි ශිෂ්‍යා සංගමයේ හා දේශපාලනඥයින්ගේ වැඩක් බව කියමින් මේ වනවිට පාසල ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වන්නටද පිරිසක් කටයුතු කරමින් සිටී.

ආන්දෝලනයට ලක් වූ කළුතර බාලිකා විද්‍යාලයේ දැරියගේ මරණයත් සමග චෝදනාවට ලක්වූ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ තුශිනි වීරකෝන් ඇයට එල්ල වූ චෝදනාවට පසුබිම් වූ කරුණු සම්බන්ධව දීර්ඝ පැහැදිලිකිරීමක් පසුගියදා යොමු කර තිබුණි.
ඇය එහිදී දන්වා සිටින්නේ රටේම අවධානයට ලක් වෙමින් අවාසනාවන්ත මිය ගිය සිය පාසලේ සිසු දැරියගේ මරණයෙන් අනතුරුව ඇයට එල්ල වූ අසත්‍ය සහ අසභ්‍ය චෝදනා සංසරණය කරනු ලැබුවේ කළුතර බාලිකා විද්‍යාලයිය ආදි ශිෂ්‍යා සංගමයේ දූෂිත නිලධාරිනියන් කිහිප දෙනෙක් බවය.
ඇය කළ පැහැදිලි කිරීම අනුව විහාරා නිර්මාණි සිසුවියගේ මරණය ගැන මෙසේ කියා තිබේ.


'පසුගිය 6 වන දින අප කලුතර බාලිකා පාසලේ සිසුවියක් අභිරහස් ලෙස මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය යාම සම්බන්ධව ආන්දෝලාත්මක ප්‍රවෘත්ති රැසක් කතා බහට ලක් විය. අදාල සිසුවිය අප පාසලේ ශිෂ්‍යාවක් බැවින් පාසල මට්ටමින් ඔබ සියලු දෙනා දැනුවත් කිරීම සිදු කළ යුතුය.
මන්ද යත් මේ අවාසනාවන්ත මරණය අමානුශික ආකාරයෙන් උපයෝගී කර ගනිමින් විදුහල්පතිනිය ලෙස මා ඇතුළු ගුරුමණ්ඩලය හා පාසලේ ආදරණීය සිසු දියණියන් හා පාසල් ප්‍රජාවම අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ පුවත් සංසරණය වීමට පටන් ගෙන ඇති නිසාය.
මිය ගිය සිසුවියගේ ක්‍රියාවන් හෝ ඇයට සහය දුන් සිසුවියගේ ක්‍රියාකලපයන් පාසලක් ලෙස අපි කිසි දිනෙ සාධාරණීකරණය නොකරමු. පාසල තුළදී ඔවුන් පිළිබඳ කිසිදු පැමිණිල්ලක් පාසල තුළින් හෝ බාහිරින් අප වෙත වාර්තා වී නොමැති බව ද දැන්විය යුතුය.

එම අවාසනාවන්ත සිද්ධිය වූ පසු ගිය 6 වන දින රජයේ නිවාඩු දිනයක් වූ බැවින් හා එදින පාසල් නොපැවැත් වූ දිනයක් බැවින් එම මිය ගිය සිසුවිය හා ඇය එම ස්ථානයට රැගෙන ගිය සිසුවිය පිළිබඳ ව වගකීමක් පාසලක් ලෙස එදින තුළ අපට දැරිය නොහැකි බව වටහා ගැනීමට ඔබ සියළු දෙනා බුද්ධිමත් පාඨක පිරිසක් වන බව අප දනිමු.

එම මිය ගිය සිසුවිය මවගේ අනුදැනුම මත එදින නිවසින් පිටව ගොස් ඇති අතර පාසල් දිනයක් නොවන දිනයක දී හා වේලාවකදී ඇයගේ පෞද්ගලික ගමන් බිමන් ආවරණය කිරීම අප හට සිදු කළ හැකි කාරණාවක් නොවන බව ද පැවසිය යුතුය.

එහෙත් එකී අවාසනාවන්ත මරණය හා එම සිද්ධියට මුහුණ දුන් සිසුවිය පිළිකුල් සහගත ලෙස භාවිතා කරමින් මේ වන විට සමාජය පුරා පාසලේ ආදි ශිෂ්‍යා සංගමයේ එක්තරා නිළධාරින් පිරිසක් ව්‍යාජ තොරතුරු සිය පෞද්ගලික පළිගැනීම් වෙනුවෙන් භාවිතා කරමින් සිටී.



අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහගේ අත්සනින් පසුගිය 12 වනදා විදුහල්පතිනියට මාරුවීමේ ලිපිය ලැබී තිබුණි. විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටි තුශිනි වීරකෝන් 2021 වසරේ පාසලට අනුයුක්ත වූ අයෙකි. ඇය පරිපාලන සේවයේ 1 තනතුර දරන්නියක මෙන්ම කළුතර බාලිකා පාසලේ ආදි ශිෂ්‍යාවකි.
ඇය පත්ව ආ දා සිට ආදිශිෂ්‍යා සංගමයේ විධායක තනතුරු දරණ සුළු පිරිසක් විදුහල්පතිනිය පත් වීම වැලැක්වීමටද ප්‍රයත්න දැරු බව විදුහල්පතිනිය වෙනුවෙන් සටන් කරන අය පවසා තිබේ.කළුතර බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සැමවිටම ක්‍රියාත්මක වූයේ විදුහල්පතිනියට ඉහළින් බවත් වසර දෙකෙන් හෝ තුනෙන් මෙහි නිළධාරීන් අතරම තනතුරු හුවමාරුවක් සිදු කරගන්නා බවත් භාන්ඩාගාරික තනතුර වසර 10ක් තිස්සේ තනි අයෙකු හොබවන බවත් විවේචන අතර වේ.
මියගිය සිසුවිය මෙන්ම එම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුවිය ද කළුතර බාලිකා විද්‍යාලයේ සිසුවියන් වීම නිසා එහි වාසි උපරිමයෙන් ලබා ගනිමින් විදුහල්පතිනියට එරෙහිව සැලසුම්සහගතව කුමන්ත්‍රණයක් දියත් කරන්නට ආදි ශිෂ්‍ය සංගමයේ නිළධාරින් කටයුතු කර ඇති බව සටන් කරන්නන් දන්වා ඇත.

කළුතර බාලිකා ජාතික පාසලේ විදුහල්පති තුෂිනි වීරකෝන්ට හදිසි ස්ථානමාරුවක් ලබා දීමට එරෙහිව කළුතර නගරයේදී අද පැවති විරෝධතාව සංවිධාන කර තිබුනේ කළුතර බාලිකාව සුරකීමේ සංවිධානය නම් එකකි. එම පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ මව්පියන්, ආදී ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් ඇතුළු  පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර සිය පාසලේ විදුහල්පතිනියට ලබා දී ඇති අත්තෝමතික ස්ථාන මාරුව වහාම අහෝසි කරන ලෙස ඉල්ලා තිබුණි.