jeram-fernando-missing

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට විදේශගතව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ (22) දින ද මෙරටට නොපැමිණි බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග  පවසයි. තමන් කිසියම් අවශ්‍යතාවක් හේතුවෙන් ඉකුත් 15 වැනි දින සිංගප්පූරුව බලා ගිය බවත්, 21 වැනි දින යළි දිවයිනට පැමිණෙන බවටත් ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබිණි.

එහෙත් ඔහු පෙරේදා (21) දිවයිනට නොපැමිණි අතර, ඊයේ (22) දිනයේ ද ඔහු නොපැමිණි බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කළේය. දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5ක් මේ දක්වා ලැබී ඇති බව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය.

මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් ගුවන් ගමන් තහනමට අනුව මොහු මෙරටට පැමිණීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැනීමෙන් පසුව සිද්ධියට අදාළ ප්‍රකාශයක් සටහන් කර ඉදිරි විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මහනුවර ප්‍රදේශයේ පැවැති දේව මෙහෙයක දී සිය අනුගාමිකයන් පිරිසක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට චෝදනා එල්ල විය. මෙරටට පැමිණීමේ දිනයක් සම්බන්ධයෙන් ඔහු දක්වා සමාජ මාධ්‍ය ජාලාවල හෝ කිසිදු සටහනක් තබා නොමැත.

ඉන්දිකා රාමනායක