homagama-hospital-incident

හෝමාගම මූලික රෝහලේ ඔක්සිජන් සේවා සපයන කාමරයට ඉකුත් 19 වැනිදා රාත්‍රියේ හොර රහසේ ඇතුළු වී ඔක්සිජන් සැපයීම නතර කර රෝගීන් රැසකගේ ජීවිත දැඩි අවදානමකට ලක් කිරීමට උත්සාහ කළේ යැයි කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඔක්සිජන් සැපයීම කිසිවකු විසින් හෝ කිහිප දෙනකු එක්වී නතර කළ අවස්ථාවේ දැඩි සත්කාර ඒකකයේ,

නොමේ ළදරු ඒකකයේ සහ වාට්ටුවල රෝගීන් 26 දෙනකුට ඔක්සිජන් සැපයීම සිදුකර තිබිණි යැයි හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

නොමේරු ළදරු ඒකකයේ සිටි දරුවන් හය දෙනකුට ඔක්සිජන් සැපයීම ඒ වන විට සිදු කරමින් තිබිණි යැයිද එම වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. ඔක්සිජන් සැපයීම නතරවනවාත් සමඟම අනතුරු ඇඟවන සීනුව නාද වීම නිසා ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී ඔක්සිජන් සැපයීම යළිත් යථා තත්වයට පත් කළ බවද එම වෛද්‍යවරයා කීය. ඔක්සිජන් සැපයීමේ ක්‍රියාවලිය ගැන මනා අවබෝධයක් ඇති අයකු මෙය කරන්නට ඇතැයි එම වෛද්‍යවරයා කීවේය.

හෝමාගම  රෝහලේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිවරයා මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණිත් මානවඩු මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඔක්සිජන් සේවා සපයන කාමරයට රිංගා ගත්  පුද්ගලයකු හෝ කිහිප දෙනකු ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් විවෘත කර රෝගීන්ට ඔක්සිජන් සැපයීම අඩාල කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් වන බව  කියති.

මෙම කාමරයට නුදුරින් පෞද්ගලික ආරක්ෂක සේවාවක ආරක්ෂක නිලධාරිනියක ද සේවයේ යොදවා සිටි බව පොලිසිය සඳහන් කරයි.  ආරක්ෂක  නිලධාරිනිය ඇතුළු  තවත් කිහිප දෙනකුගෙන්ම මේ වන විට ප්‍රශ්න කර තොරතුරු සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට ලක් කරමින් මෙවැනි සාහසික ක්‍රියා සිදුකිරීම බරපතළ වරදක් බව එම රෝහලේ වෛද්‍යවරු සහ හෙද හෙදියෝ කිහිප දෙනෙක්  අදහස් දක්වමින් පැවසූහ. මෙවැනි ක්‍රියාවක් සිදුකළ අය වහා අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය