tiran-threats

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් හා පාතාලයෙන් තමාට ජීවිත තර්ජනයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තාවක් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (22) පැවසීය. එසේ තර්ජන එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන මෙහෙයුම් කටයුතු නවත්වන්නේ නැති බවත්, එම කටයුතු ඒ අයුරින්ම සිදුකරන බවත් අමාත්‍යවරයා කීවේය.



තමන් මෙම තනතුර බාර ගත්තේ මත්කුඩු හා පාතාලය මර්දන වෙනුවෙන් බව ද, තර්ජන එල්ල වුවද මත්කුඩු හා පාතාල මර්දන සඳහා ගත් කිසිදු අඩියක් පස්සට නොතබා ඉදිරියටත් මේ අයුරින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා කීවේය. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුම් ඉදිරියේ මීටත් වඩා තදින් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මොන ක්‍රමයකින් හෝ මත්කුඩු හා පාතාල මර්දන මෙහෙයුම් සිදුකර ඒවා මෙරටින් තුරන් කරන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද කීය.

බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ මෙහෙයුම් ඉතා සාර්ථක බවත් මෙම මෙහෙයුම් ඉදිරියේ ඉදිරියේ දී තවත් සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය සමග එක්වී ඔවුනට සහාය වෙමින් තොරතුරු ලබා දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවර ද පැවසීය. බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉන්දිකා රාමනායක