peradeniya-blue-sapphre

මහනුවර – පේරාදෙණිය පාරේ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳසලක් වෙත 20දා පැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80කට මිල නියම කර තිබූ නිල් මැණිකක් සොරා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස වීදුරුවලින් සකස් කර නිල් මැණිකක් සේ වර්ණ ගැන්වූ වීදුරු ගලක් රැගෙන පැමිණ තිබෙන අදාළ පුද්ගලයන් ඉතා සූක්ෂ්ම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරා ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.



නිල් මැණික පරීක්ෂා කළ පුද්ගලයන් එය මිලට ගැනීමට යළි පැමිණෙන බව දන්වමින් පිටව ගොස් පැය කිහිපකට පසු වෙළෙඳසල් හිමියා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත වෙළෙඳසලේ තිබූ නිල් මැණික පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ එකක් බව දැන වහා ඒ සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.

පැමිණි පුද්ගලයන් තිදෙනා අතරින් එක් අයෙකු ගැනුම්කරු ලෙසත් අනෙක් දෙදෙනා බ්‍රෝකර්වරුන් ලෙසත් පෙනී සිට ඇත.

සී.සී.ටි.වී. දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබඳව හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙයි.