
මෙම වර්ෂය අවසන් වීමට පෙර ඊ - ගුවන් ගමන් බලපත්‍ර (E-Passport) ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එමෙන්ම වර්තමානයේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී තිබෙන තදබදය අවම කිරීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ස්ථාන 50ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරන බව ඊයේ (22දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.
" සියලු දෙනා කතා කරනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගැන. පාස්පෝට් ප්‍රශ්නය ගැන. අපි ඒ ප්‍රශ්නය විසඳන්න ගොඩක් කටයුතු කරලා තියෙනවා.
රුපියල් 20,000, 25,000 අල්ලස් ගන්න චෝදනාවක් ආවා. අපි බුද්ධි අංශ යොදවලා ගිය සිකුරාදා 16දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊට කලිනුත් අපි ඒ විදියට කළා. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාර්නියකුත් අත්අඩංගුවට ගත්තා මේවාට සම්බන්ධ. අපි දැඩි ක්‍රියාමාර්ග අරගෙන ඒවා නවත්වනවා. ලබන මාසය වන විට ඡායාරූප ගැනීම හා ඇඟිලි සලකුණු ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ස්ථාපිත කරනවා.
ඒ අනුව කාටවත් කොළඹ එන්න ඕන නෑ. තමන්ගේ ගමේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මුලින් අයදුම්පත ඔන්ලයින් එවලා එතනට ගිහින් පින්තූරය ගන්නවා. ඇඟිලි සලකුණු දෙනවා. දවස් තුනක් ඇතුළත කෙලින්ම තමන්ගේ නිවසට පාස්පෝට් එක කුරියර් කරනවා. ඒ වගේම අපි මේ වසර ඇතුළත ඊ- පාස්පෝට් එක ලබා දෙන්නත් කටයුතු කරනවා. ”
දිනේෂ් සමරකෝන්