thalawathugoda-doctor-incident

මුදල් ඉල්ලා නොදුන්නැයි උරණව දේශීය වෛද්‍යවරයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පලාගොස් සැඟව සිටි යාචකයා වසරකට පසු නාවල සුපිරි වෙළෙඳසලක් අසලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක් වූයේ තලංගම, තලාහේන, පොතුඅරාව ප්‍රදේශයේ සෙනරත් නිශ්ශංක පෙරේරා නමැති 54 හැවිරිදි දේශීය වෛද්‍යවරයකු බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ වෛද්‍යවරයා 2022 අප්‍රේල් 26 වැනිදා තලවතුගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පැමිණ පිටවීමේදී සැකකාර යාචකයා මුදල් ඉල්ලා ඇවිටිලි කර තිබූ බව පොලිසිය කියයි. මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ යාචකයා සඟවාගෙන සිටි තියුණු ආයුධයකින් වෛද්‍යවරයාට පහරදීමෙන් අනතුරුව පලාගොස් තිබිණි.

වාර්තාවන ආකාරයට සුපිරි වෙළෙඳසලින් පිටතට පැමිණි වෛද්‍යවරයා වෙත මෙම සිඟන්නා ස්ටිකර් පෙන්වා විකුණන්නට උත්සාහ දරා ඇති අතර වෛද්‍යවරයා ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.



කෙසේ වෙතත් ප්‍රතික්සේපයෙන් නොනැවතී සිඟන්නා යළි යලිත් ඔහු වෙත පැමිණෙමින් එය විකුණන්නට දෙවැනි තෙවැනි උත්සාහයන්ද සිදු කර ඇතැයි අසළ සිට සිද්ධිය නිරීක්ෂණය කළ බව සුපිරි වෙළෙඳසල් ආරක්ෂකයා වාර්තා කර තිබුණි.


එම අවස්ථාවේ දිගින් දිගටම සිදුවන කරදරය නිසා තරමක් කෝපයට පත් වෛද්‍යවරයා ‘තමුන්ගේ අතපය හොඳින් තියනවා නේද?.. ඇයි මෙහෙම කාට හරි කරදරයක් වෙන්නේ ගිහිං රස්සාවක් කරන්න පුළුවනි නේදැයි‘ විමසා ඇත.
මෙම විමසීම නිසා සිඟන්නාද කෝපයට පත්ව ඇති අතර ඔහුද වෛද්‍යවරයාට එකට එක කියමින් බැණවැදී ඇත.
එම අවස්ථාවේ ගැටුම දුටු ආරක්ෂකයා සිඟන්නාව එතැනින් පළවා හැර සිද්ධිය සමථයට පත් කරන්නට උත්සාහ කර ඇති අතර සිඟන්නා එතැනින් ටික දුරකට මෑත්වී ඇත. කෙසේ වෙතත් වෛද්‍යවරයා නිවසට යාමට සූදානම්වී තමන්ගේ බඩු මල්ල යතුරු පැදියේ සවිකරමින් ටික වේලාවක් ගත කර තිබෙන අතර එම අවස්ථාවේ ආරක්ෂකයාද යලි ඔහු සිටි තැනට ගොස් ඇත. මෙම අවස්ථාවේ එක්වරම ඈතක සිට දිව ඇවිත් තිබෙන සිඟන්නා වෛද්‍යවරයාගේ සිරුර දෙසට පිහියකින් ඇනගෙන ඇනගෙන ගොස්  මරා දමා  පලාගොස් තිබුණි.



අපරාධය සිදුවූ ස්ථානයේ සුපිරි වෙළෙඳසලේ සීසීටීවී දර්ශන අනුව සැකකරු හඳුනාගෙන තිබූ නමුත් සැකකරු තලංගම පොලිස් වසම හැර පලා යාම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට එකවර නොහැකි විය. සැකකරු මෑතක වැලිකඩ පොලිස් වසමේ සුපිරි වෙළෙඳසලක් අසල රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව පෙරේදා 23 වැනිදා වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණ සැකකරු හතළිස් පස් හැවිරිදි පන්නල, මාකඳුර පදිංචිකරුවකු වන අතර, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.