narahenpita-incident

පාසල නිමවී නිවෙස බලා යන අතරේ වෑන් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැර ගැනීමට තැත් කිරීමේ දී ඔවුන්ගෙන් බේරි පලා ගිය බවට නාරාහේන්පිට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ 11 හැවිරිදි පාසල් සිසුවකුට පොලිසිය මවුපියන් ඉදිරියේ අවවාද කර මවුපියන්ට බාර දුන් බව පොලිසිය කියයි. ළමයින් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පට නරඹා මේ ආකාරයේ අසත්‍ය කතාවක් නිර්මාණය කළ බවට සිසුවා ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.



මෙම සිසුවාගේ පැමිණිල්ල ලද විගසම නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර දරුවා සඳහන් කළ ප්‍රදේශය අවට සියලු සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවට ලක් කළ ද එම ප්‍රදේශයේ එවැනි සිද්ධියක් නිරීක්ෂණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. තමන් වෑන් රථයේ පිරිසගෙන් බේරී දිවගිය බවත්, දරුවන් පැහැර ගැනීමේ සිද්ධීන් මේ දිනවල වාර්තා  වන හෙයින් පාසල් යනවිට ගලක් රැගෙන යන ලෙසට මව කර තිබූ දැනුම් දීමකට අනුව රැගෙන ගිය ගලෙන් වෑන් රථයට පහරක් එල්ල කළ බවටත් මෙම සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇත. දරුවාට මෙම සිද්ධිය වූ ස්ථානය පැටලී ඇති බවට සැකකර පොලිසිය සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 200-300 අතර ප්‍රදේශයක කැමරා පරික්ෂාවට ලක් කළ ද දරුවා කියන ආකාරයේ කිසිදු සිද්ධියක් අනාවරණය නොවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කිසිදු අවස්ථාවක දරුවා දිවයන අයුරු හා ඒ ආකාරයේ වෑන් රථයක් ගමන් කරන අයුරු විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය වී නොමැති බව ද නිහාල් තල්දූව මහතා පවසයි. මේ පිළිබඳව ඇති වූ සැකයක් මත දරුවාගේ මවුපියන් සමග සාකච්ඡා කර සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම පැමිණිල්ල ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ ව්‍යාජ පැමිණිල්ලක් බවට අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.



වයස අවුරුදු 11ක් වුවද මෙම දරුවාට මවුපියන් විසින් ජංගම දුරකතනයක් ලබා දී ඇති බවත් සමාජ මාධ්‍යවල ළමයින් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇති වීඩියෝ පට ඔහු විසින් නරඹා ආකාරයෙන් ව්‍යාජ සිදුවීමක් ගෙතූ බවට සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  තමන් මාර්ගයේ ඇද වැටුණ බවත්, තමන් අසලින් වෑන් රථයක් ධාවනය කිරීමත් සමග මේ අයුරින් ව්‍යාජ කතාවක් අවශ්‍ය ආකාරයට නිර්මාණය කළ බවට ද සිසුවා ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය තවදුරටත් විමර්ශනය පවත්වයි.
ඉන්දිකා රාමනායක