sugar-level-issue

රුධිරගත සීනි ප්‍රමාණය ඔබේ ජීවිතයට එදිනෙදා බලපාන ආකාරය ගැන බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමකි.සීනි කියූ විට එය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ එය  වැඩි වීම නිසා මතුවන ප්‍රශ්න වන නමුත්, එය අඩු වීම ජීවිතයට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව දැනුවත් නොවීම හදිසි සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතුවකි.
රුධිරගත සීනි ප්‍රමාණය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණයකට පසුව යමෙක් තමන් දියවැඩියාවට ගොදුරු වී ඇති බව හෝ පූර්ව දියවැඩියා තත්ත්වයේ පසුවන බව දැනගත් වහාම කලබල වෙන බොහෝ දෙනෙක් ඖෂධ කෙරෙහි යොමු වේ. නමුත් ඒවා භාවිත කරන අතරවාරයේ අවිධිමත් ලෙස දියවැඩියා රෝගයට පාලනයක් ඇතිකරනවා යැයි පැවසෙන වෙනත් ආහාර පානාදියද ඒ සමග පමණ ඉක්මවා ලබාගත හැකියි.

මෙහිදී සමහර ආහාර පානවලින් සීති ප්‍රමාණය අඩුවෙනවා යැයි සිතුවොත්, ඖඖෂධද ලබාගැනීම තුළ නියමිත ප්‍රමාණයට වඩා අනපේක්ෂිතව රුධිරගත සීනි ප්‍රමාණය පහළ බසින්නට පුළුවන්. මෙය රෝගය සුව වීමක් ලෙස සැලකීම ඉතාම මිථ්‍යාවක්. මේ ආකාරයෙන් සීනි පාලනය කරන අතර, තවත් සමහරු සීනි පරිභෝජනය සම්පූර්ණයෙන්ම නවතන අවස්ථාද පවතිනවා. සීනි අපේ ශරීරයේ පැවැත්මට අනවශ්‍යම දෙයක්ද? සීනි සම්පූර්ණයෙන්ම නවතා ආහාර පාලනය කරන අතර, ව්‍යායාම මගින්ද අධික ලෙස සීනි කෙරෙහි බලපෑමක් ඇතිකරලීම සුදුසුද? සීනි මඳක් අඩු වේ යැයි සලකන ආහාර පානද ගන්නා අතර බෙහෙත්ද ගනිමින් සීනිවලට වැට බැඳීම ජීවිතයට බලපානු ලබන්නේ කෙසේද යන්න අද අපි විමසා බලමු. බොහෝ දෙනෙක් සීනිවල ඇති රසයට හුරුපුරුදු වෙන්නෙ ළමා කල සිටමය. සීති කියන්නේ සමහරුන්ගේ ඇබ්බැහියක්, පැණි රස ආහාර අධික ලෙස සීනි යෙදූ තේ, කෝපි ආදී පාන වර්ග ආසියාතික අපගේ ආහාර රටාව තුළ ඇතැමුන් වඩාත් ළංකර ගන්නා බව අප කවුරුත් දන්නා දෙයක්.



බොහෝ විට සීනි පරිභෝජනය අඩුකරන ලෙස උපදෙස් ලබන දියවැඩියා රෝගීන්ගෙන් සමහරක් සම්පූර්ණයෙන්ම සීනි පරිභෝජනය නවතන අවස්ථාත් සීනි ඇතැයි සිතන පිළිගැනෙන එළවළු පලතුරු පරිභෝජනයද අතහරින බව අප නිතර දකිත තත්ත්වයක්. නමුත් සීනි කියන්නේ වැඩිත් නැතිව අඩුත් නැතිව අපේ රුධිර තුළ පැවතිය යුත්තක් බව ඔබ දැන සිටිය යුතුම කරුණක්. සීනි වැඩි වීම සම්බන්ධයෙන් නොව අද අපි කතා කරන්නේ මේ කියන සීනි අඩු වුණොත් අපට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳවයි. රුධිරයේ සීනි අඩු වීම අපි වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ හයිපොග්ලයිසිමියා නමින්.


හයිපොග්ලයිසීමියා තත්ත්වයක් ඇතිවුවහොත් අපි එය දැනගන්නේ කෙසේද යන්න දැන් ඔබට ගැටලුවක් මතුවෙනු ඇති. අපි රුධිර පරීක්ෂණයකින් පසු රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය 70 mg/dc ( 4mmol /c) වඩා අඩු වීම හයිපොග්ලයිසීමියාව (Hypoglycemia) ලෙස හඳුන්වනු ලබයි. මෙය කොහෙත්ම සරල තත්ත්වයක් නොවේ. ඉතාම බරපතළ තත්ත්වයක් බව ඔබ දැන සිටිය යුතුමයි. මෙමගින් මොළයට ලැබෙන  ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීමෙන් මොළයේ යම් යම් ක්‍රියාවිරහිතතාවන් ඇතිවීමට හැකියාව පවතියි. සාමාන්‍යයෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු වූ විට යම් කෙනෙකුට මෙම ලක්ෂණ ඇතිවිය හැකිය. නිදිමත ගතිය, දහඩිය දැමීම, ක්ලාන්තය, හෘද ස්පන්දනය වේගවත් වීම.


හිසරදය, වචන ගොත ගැසීම, අධික කුසගින්න, හැසිරීම් රටාව වෙනස් වීම, අත පය පණ නැති වීම, වලිප්පුව, සිහිනැතිවීම සමහර විටෙක රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීමේ ලක්ෂණ බවට සැලකිය හැකිය. ඔබද දියවැඩියා රෝගියෙකු බව තහවුරු කර සිටින්නෙක් නම් ඉහත රෝග ලක්ෂණ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්ය. මෙවැනි අවස්ථාවක ඔබ සතුව රුධිරයේ සීනි මැන බලන උපකරණයක් පවතින්නේ නම් වහාම රුධිරයේ වෙනසක් පවතින්නේද යන්න පරීක්ෂා කර බැලීම වැදගත්ය. එසේ ඔබ සතුව ග්ලූකොමීටරයක් නොමැති නම් ඉහත කී ලක්ෂණ හයිපොග්ලයිසීමියා රෝග ලක්ෂණ ලෙස සලකා කටයුතු කරන්න. මෙවන් ලක්ෂණයක් ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට ඇති වූ විට එය නොසලකා නොහැර කළ යුත්තේ කුමක්දැයි දැන් විමසා බලමු. ඉතාම ඉක්මනින් වහාම මේ ආහාරවලින් එකක් ලබාගැනීමට හෝ ලබාදීමට යුහුසුළු විය යුතුය.

ග්ලූකෝස් ස්වල්පයක්, සීනි දියකරන ලද වතුර හෝ සීනි සහිත පැණි රස ඇති බීම වර්ගයක්. සීනි ස්වල්පයක්, වොක්ලට්, ටොෆි, ජෑම් හෝ තේ කෝප්පයක්. මේවායින් එකක් හෝ ලබාදීමෙන් පසුවත් ඔබට හෝ අදාළ පුද්ගලයාට දැනුණු රෝග ලක්ෂණවල අඩුවක් නැතිනම් වහාම ඒ තැනැත්තා වෛද්‍ය පරීක්ෂාවට ලක්වීම හෝ රෝහල්ගතවීම නොපමාව කළ යුතුය. ග්ලූකොමීටරයක් ඔබ සතුව තිබේ නම් නැවත රුධිරය පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම වැඩි වීමක් වූයේදැයි දැනගන්න.


සමහරෙකුට සිහි නැතිවීම් තත්ත්වයක් පැවතිය හැකි බව අප කීවා ඔබට මතක ඇති. සිහිනැතිවීම අපස්මාරය වැනි තත්ත්වයකදී නොපමාව රෝගියා රෝහල්ගත කළ යුතුය. එවිට සේලයින් මාර්ගයෙන් රෝගියාට සීනි ලබාදෙන්නට කටයුතු කළ හැකිය. සිහි නැතිව සිටින විට කිසිවක් පොවන්නට උත්සාහ නොකළ යුතු බව මතක තබාගන්න. රුධිරයේ සීනි අඩුවෙන්නේ ඇයි? ඔබ දැන සිටිය යුතු වැදගත්ම කරුණ එයයි. සමහරෙකු දියවැඩියාව සදහා ප්‍රතිකාර ලබන්නෙක් විය හැකිය. ඉන්සියුලින් හෝ දියවැඩියා පෙති නියමිත ප්‍රමාණය වඩා වැඩිපුර ගත් විට නැතිනම් දියවැඩියා පෙති හෝ ඉන්සියුලින් සමග අවිධිමත් ප්‍රතිකාරද පමණ ඉක්මවා ගත් විට ඔබේ රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් අඩු විය හැකිය. එවිට හයිපොග්ලයිසීමියා තත්ත්වයක් මතු වීමේ අවදානමක් පවතී. නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම මෙකල බොහෝ තරුණ තරුණියන් සහ ඇතැම් කාන්තාවන් තරබාරුව නවත්වා ගන්නට හිතුමතයේ අනුගමනය කරන පිළිවෙතක් වන්නට පුළුවන.


මෙය ඉතාම අනුවණ ක්‍රියාවක් බව තරයේ මතක තබාගන්න. එමෙන්ම දියවැඩියා රෝගයට ඉන්සියුලින් ලබාගත්තේ නම්, එසේ ගත් වහාම ආහාර ලබාගත යුතු අතර ඉන්සියුලින් ගෙන ආහාර නොගෙන සිටීම හයිපොග්ලයිසීමියාවට අත වැනීමක් විය හැකිය. ප්‍රධාන ආහාරවේල් මගහැරීම මෙන්ම ආහාරවේල් අතර නිසි පරතරයක් පවත්වා නොගැනීම, රුධිරගත සීනි ප්‍රමාණය අඩුවීමට බලපෑ හැකිය. උදාහරණයක් සැලකුවහොත්, උදෑසන ආහාර වේලෙන් පසු නැවත රාත්‍රී ආහාරය තෙක්ම කිසිම ආහාරයක් නොගෙන අධිකව වෙහෙසවීම සලකා බලමු. අධික ලෙස මත්පැන් භාවිතාව සහ අධිකව ව්‍යායාම්වල යෙදීම ආහාර වේල් මගහරිමින් ව්‍යායාම්වල අධිකව තිරතවීම ආදී හේතු හයිපොග්ලයිසීමියාවට අත වැනීමක් විය හැකිය. මෙම තත්ත්වයෙන් ගැලවී සිටීමට අපට නොහැකිද? හැකිය. ඒ සඳහා ඇත්තේ ඔබ ඔබ සම්බන්ධයෙන් දක්වන සැලකිලිමත්භාවයයි. පළමුව ඔබ ඔබේ රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමට වෛද්‍ය උපදෙස් මත ලබාදුන් ක්‍රමවේදය පමණක් අනුගමනය කරන්න. ඔබ හිතුමතයට ආහාර හෝ අනෙකුත් ඇවතුම් පැවතුම් වෙනස් කිරීමට උත්සාහ නොදරන්න. එසේ නියමිත ප්‍රතිකාර නියමිත කාලය සහ මාත්‍රාවෙන් ලබාගන්නා අතර, දී ඇති උපදෙස් අනුව ඔබේ ආහාර පාන ප්‍රමාණයන් ලබාගන්න.


ඔබේ පවුලේ ආශ්‍රිතයන් සේවා ස්ථානයේ ආශ්‍රිතයන්ට ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් දැනුම්වත් කොට තබන්න.

එවිට ඔබට හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් එම පුද්ගලයන්ගේ සහය වඩා කඩිනම් ලැබෙනු ඇත. ඔබද රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට දැනිය හැකි ලක්ෂණ සම්බන්ධයෙන් මනා දැනුම්වත් බවකින් සිටින්න. කිසියම් පැණි රස ද්‍රව්‍යයක්, ටොෆියක්, චොක්ලට් කැබැල්ලක් ආදී දෙය ඔබ සමීපයේ තබාගන්න. ඔබට රුධිර සීනි මට්ටම පහළ බසින බව දැනෙන පළමු සංඥාවේදී එයින් කුමන හෝ ද්‍රව්‍යයක් ඉක්මනින් පාවිච්චි කරන්න. මේ සංඥාව ඔබට දැනෙන්නේ ඔබ වාහනයක් පදවමින් සිටින වේලාවක නම්, වහාම වාහනය නවත්තන්නට කටයුතු කරන්න. ඔබ වාහන ධාවනය මෙන්ම ඉහළට නැගී අවදානම් ස්ථානවල රාජකාරී කරන අයෙක් නම් සහ පිහිනීම, වාහන පදවන ආදී කටයුතුවල නිරතවෙන්නෙක් නම් ඔබේ. රුධිර සීනි මට්ටම පිළිබඳ පරීක්ෂා කර බලා එයින් පසුව වැඩ කරන්නට සිතට ගත්ත. ග්ලූකොමීටර එසේත් නැතිනම් රුධිරයේ සීනි මැන බලන කුඩා උපකරණ එතරම් මිලක් නොවේ. එවැන්නක් ඔබ සමීපයේ තබාගන්න. එවිට ඔබට හයිපොග්ලසීමියාවේ ලක්ෂණයක් දැනුන විටදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයක් ලැබීමේ සහය ලබාගත හැකිය. ඔබ කිසියම් ආකාරයක ක්‍රීඩාවක නිරතවන්නට පුහුණුවීම් ආදිය කරන්නේ නම්, නිතරම ඔබේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ගැන අවදියකින් පසුවන්න. කිසිවිටක එසේ පරීක්ෂාවකින් තොරව එවන් අවස්ථා සඳහා ඉදිරිපත් නොවන්න.

උපදෙස් - අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතාගෙනි.
සටහන - නාලිකා රාජපක්ෂ