puttalam-school-incident

පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය කටයුතු භාර ගුරුවරයෙකු කොණ්ඩා රැවුල කපා පැමිණෙන ලෙස සිසුන් පිරිසකට ලබාදුන් අවවාදයක් නොරිස්සූ සිසුන් පෙරේදා (24) එම ගුරුවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා විය.
පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විදුහලේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් මෙම පහරදීම සිදු කර තිබුණි. සිසුන් සිය විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීම සඳහා පාසල වෙත පැමිණි අවස්ථාවේ සිසුන් කිහිප දෙනෙකු පැමිණ තිබුණේ පාසලට නොගැලපෙන ලෙස කොණ්ඩය සහ රැවුල වවාගෙන බව කියැවේ.
විභාග ප්‍රවේශපත්‍ර ගැනීමට අවශ්‍ය නම් විනයානුකූලව පාසලට පැමිණෙන ලෙස පාසලේ විනය භාර ගුරුවරයා එහිදී සිසුන්ට අවවාද කර තිබේ.


පසුව පාසලෙන් පිටත්ව ගිය සිසුන් යළි කොණ්ඩය සහ රැවුල කපාගෙන පාසලට පැමිණ සිය විභාග ප්‍රවේශ පත්‍රය ලබාගෙන තිබුණි.
නමුත් ගුරුවරයාගේ අවවාදයෙන් කෝපවී සිටි සිසුන් පිරිස පාසල අවසන් වීමෙන් පසු විනයභාර ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ කලහකාරී ලෙස හැසීරීමට පටන් ගෙන තිබුණි.
පුත්තලම පොලීසිය පවසන්නේ, සිසුන් 25ක් පමණ නිවස ඉදිරිපිට රැස්වී හූ කියමින් නිවස දෙසට ගල් ප්‍රහාර පවා එල්ල කර ඇති බවය. එහිදී මෙම සිසුන් තම පෙළපොත් පවා ඉරාදමා විසිකර තිබේ.
එම අවස්ථාවේ නිවසින් පිටතට පැමිණි ගුරුවරයාව සිසුන් කිහිපදෙනකු විසින් අල්ලාගනිද්දී තවත් පිරිසක් ඔහුට දරුණු ලෙස පහරදී තිබුණි.
පුත්තලම පොලීසිය පැවසුවේ, එක් සිසුවෙක් ගුරුවරයාගේ මුහුණ ට එල්ල කළ ගල් පහරකින් ගුරුවරයාගේ තොල් දෙක පුපුරා ගොස් ඇති බවය.


පසුව ප්‍රදේශවාසීන් එක්වී සිසුන්ව එම ස්ථානයෙන් පළවා හැරීමට කටයුතු කර තිබූ අතර පහරකෑමෙන් තුවාල ලැබූ 28 හැවිරිදි එච්.එම්.අස්කී නමැති ගුරුවරයා මේ වනවිට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදීමට සම්බන්ධ සිසුන් 4දෙනෙක් පස්වරුවේම අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කළ අතර අද  26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් 17 දෙනෙකු අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව සිද්ධියට අදාළව සිසුන් 21ක් අත්අඩංගුවට පත්ව ඇත.සිසුන් සියලු දෙනා අයුතු ජනරාශිය නමැති චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙනතිබේ.
ඔවුන් අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගුරුවරයාට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එම පාසලේ අනෙක් සිසුන් සහ ගුරුවරුන් පාසල ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණි.