court-lawyer-fight

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ හමුවීම් ශාලාවේ පුටුවක් බෙදා ගැනීමට නොහැකිව නීතිඥවරයකුට තවත්  නීතිඥවරයකු විසින් පහරදී බැණ තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) පැමිණිල්ලක් ලැබුණු  බව කෙසෙල්වත්ත පොලීසිය පවසයි. පහර කෑමට ලක්වූ නීතිඥවරයා රෝහල්ගත වන බව සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය පෝරමයක් ද රැගෙන පිටව ගිය බව ද පොලීසිය කියයි.


පහරකෑමට ලක්වූ නීතිඥවරයා තමන්ට බැණ තර්ජණය කළැයි කියමින් පහරදුන් බව කියන නීතිඥවරයා ද කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. පහරකෑමට ලක්වූ නීතිඥවරයා නීතිඥ හමුවීම් ශාලාවේ පුටුවක අසුන්ගෙන සිටියදී එම ස්ථානයට පැමිණි පහරදුන් බව කියන නීතිඥවරයා සහ තවත් නීතිඥවරුන් දෙදෙනකු ඔහුගේ ඇඟේ හැප්පුණ බවත්, ඔහු ඒ අවස්ථාවේදී “ඇයි අයියා අවුලක්ද?" යනුවෙන් විමසා ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන් වෙයි.

එහිදී පහරදුන් බව කියන නීතිඥවරයා ඇතුළු පිරිස, “උඹ මොකද මෙතන වාඩිවෙලා ඉන්නේ? නැගිටලා පලයං" යනුවෙන් පවසා නීතිඥවරයාගේ කම්මුලට පහරක් එල්ල කර ඇතැයි ද එම පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇත.

එම සිද්ධිය වී ඇත්තේ අධිකරණ කටයුතු සඳහා පැමිණි විශාල පිරිසක් බලා සිටියදීය. මේ ගැටුම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ද එහි ඇති වී තිබූ බව වාර්තා වේ. පහරදුන් බව කියන නීතිඥවරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ, තමන් නීතිඥ හමුවීම් ශාලාවේ හිඳගෙන සිටි අවස්ථාවේදී කනිෂ්ඨ නීතිඥවරයා පැමිණ මේ මේසේ මගෙයි” යනුවෙන් පවසා තමන් තල්ලු කර පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවය. මේ ආකාරයෙන් වන වන නීතිඥවරුන් අතර පහරදීමේ සිද්ධී ගණනාවක් මෑතකදී ද එම අධිකරණ පරිශ්‍රයෙන් වාර්තා වී ඇත.
නිමන්ති රණසිංහ