
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගන්නා අවස්ථාවේ දී එය නිරීක්ෂණය කිරීම සඳහා අනින්දා (25) පෙරවරු 8.30ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයට ඊයේ (22) නියෝග කළාය.
දේහය ගොඩගැනීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් අධිකරණ අමාත්‍යාංශය සමග එක්ව සලසා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.එය නිරීක්ෂණය කිරීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කළාය. විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ගොඩගැනීම අනිද්දා (25) සිදු කෙරෙන්නේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදීය.
ගොඩගැනීමට සූදානම් කර ඇති මෙම දේහයේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිතව ඇති බවත් ඒ පිළබඳව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පළකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණේ ඉකුත් 19 වැනිදාය.
ඒ අනුව, විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ එම දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් නියෝග නිකුත් විය.
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංචපුද්ගල විද්වත් කමිටුවක් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා පත් කරනු ලැබීය. එම විද්වත් වෛද්‍ය මණ්ඩලයේ සභාපතිත්වය කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා විසින් හොබවනු ලබන අතර, එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන මහත්වරුන්ය.
නිමන්ති රණසිංහ