school-bus-abuse-girl

එකම පවුලේ බාල වයස්කාර දැරියන් දෙදෙනකු පාසලට යෑමට පෙරේදා (23) පාසල් බස් රථය එනතෙක් මාර්ගයේ උත්සව ශාලාවක් අසල සිටිය දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එම දැරියන් දෙදෙනාට ලිංගික අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඔහු අල්ලා පහර දී පොලිසියට බාර දී ඇත. පොලිසියට භාරදුන් මෙම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.



මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ඌරන් ගොවිපොළක සේවය කරන 28 හැවිරිදි අයෙකි.  අත්අඩංගුවට ගත් ගත් මෙම සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පාසල් දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමට උත්සහ කළ බව කියන පුද්ගලයකුට ඒ අවට රැඳී සිටි පිරිසක් පහර දෙන බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව පූගොඩ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.



බාල වයස්කාර සහෝදරියන් දෙදෙනාට ලිංගික අතවර කිරීමට උත්සහ කළේ යැයි කියන අවස්ථාවේ ඔවුන්ගේ කෑ ගැසීම අවට සිටි පිරිස් එහි පැමිණි මෙම පහරදීම සිදුකර ඇති බව ද කියති. සැකකරු  පූගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 31 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේ යැයි පොලිසිය පවසයි. පූගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය