meet-nepals-hari-budha-magar-double-amputee-climber-who-conquered-mount-everest

නේපාලයේ ගුර්බා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ, පාද දෙකම අහිමි හිටපු ආබාධිත බ්‍රිතාන්‍ය සෙබළෙකු වන 'හරි බුධා මාගර්' පසුගියදා ඉතා සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ බව වාර්තා වෙයි. ඒ අනුව මීටර් 8,848ක් උස එවරස්ට් කන්ද තරණය පිළිබඳ ඉතිහාසය තුළ දණහිසෙන් ඉහළින් පාද දෙකම අහිමි පුද්ගලයෙකු එම සමත්කම දැක් වූ පළමු වැනි අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්ව තිබේ. 1999 වසරේදී බ්‍රිතාන්‍ය හමුදාවේ සාමාජිකයෙකු ලෙස බැඳුණු මාගර්, 2010 දී ඇෆ්ගනිස්තානයේ මුර සංචාරයේ යෙදෙමින් සිටියදී, බිම් බෝම්බයක් පෑගීම හේතුවෙන් මෙලෙස සිය පාද දෙකම දණහිසෙන් ඉහළින් අහිමි වී තිබේ. ඒ අනුව, ඉන් වසර 13කට පසුව එනම් 2023දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත්වීමත් විශේෂත්වයකි.

මීට පෙර දණහිසෙන් පහළ කොටසින් පාද දෙකම අහිමි වූ දෙදෙනකු එවරස්ට් තරණයට සමත් වී ඇති අතර, නවසීලන්ත ජාතිකයෙකු වන මාර්ක් ඉන්ග්ලිස් 2006 දීද, චීන ජාතිකයෙකු වන ෂියා බොයු 2018 දීද මෙම සමත්කම  දක්වා තිබේ. ඔහුගේ මෙම දස්කම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති ගොර්බා රෙජිමේන්තුව, "හිටපු ගොර්බා හමුදා නිලධාරියෙකු වන හරි බුධා මාගර් අද ඉතිහාසය ලියා තිබෙනවා. ඔහු තමයි අද දණහිසට ඉහළින් පාද දෙකම අහිමිව එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයා.” යනුවෙන් එහි සටහන්ව ඇත. මෙහිදී මගාර් එවරස්ට් තරණය කිරීම සඳහා ෂර්පා මගපෙන්වන්නන් පස්දෙනෙකු සහාය ලබාදුන් බව නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන බිහ්යාන් කොයිරාළ මාධ්‍ය වෙත පවසා තිබේ.




වර්තමනයේදී බ්‍රිතාන්‍යයේ කැන්ටබරිහි වෙසෙන 43 හැවිරිදි මගාර් සිය එවරස්ට් කඳු තරණය සදහා පසුගිය අප්‍රේල් 17දා ඒ වෙත ළඟාවී තිබේ. එහෙත් ඔහුට කන්ද තරණය සදහා එම අවස්ථාවේදී අනුමැතිය හිමිව නොමැත. එහි පැවැති අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතු වී තිබේ. ඒ අනුව මගාර් හට දින 18ක කාලයක් එවරස්ට් කන්දේ පාදම් කඳවුරේ රැඳී සිටීමට සිදුව ඇත. ඔහු ඇතුළු කණ්ඩායම එවරස්ට් තරණය අරඹා ඇත්තේ ඉන් අනතුරුවය. එම ගමනේදී තම කණ්ඩායමට දරුණු සීතල තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුණු බවත්, කන්ද තරණය අතරතුරදී මියගිය දෙදෙනකුගේ සිරුරු පහළට රැගෙන එන අයුරු තමන්ට දැකගත හැකි වූ බවත් මාගර් පවසා තිබේ. කෙසේ වෙතත්, සීතල තත්ත්වය පහළ ගොස් ස්කන්ද තරණයට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වුවද, පැවැති කාලගුණික තත්ත්වය නිසා තමන්ගේ අවිකණ්ණාඩි සහ ඔක්සිජන් මුහුණු ආවරණ පවා සීතලෙන් ගල් වී තිබූ බවත් මාගර් සඳහන් කරයි.

"මගේ ජැකට්ටු ඔක්කොම සම්පූර්ණයෙන්ම සීතලෙන් ගල් වෙලා. අපි අරගෙන ගිය උණු වතුර පවා අයිස් කුට්ටි වෙලා, අපිට ඒවා බොන්න ලැබුණේ නෑ.”

මගාර් පවසන ආකාරයට ඔහුට මෙම එවරස්ට් කන්ද තරණය පිළිබඳව මූලික ආසාව හටගෙන ඇත්තේ පාසල් අවදියේදීය. එහෙත් ඔහු පසුව බ්‍රිතාන්‍ය හමුදාව යටතේ  ක්‍රියාත්මක ගුර්කා රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙකු ලෙස සේවය සඳහා නේපාලයෙන් පිට වී ගොස් තිබේ. ඒ අනුව, ඇෆ්ගනිස්තානයේ අනුයුක්තව සේවය කරද්දී සිදුවූ අනතුරින් සිය පාද දෙකම අහිමිවීමත් සමග තම ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වූ බව හැඟුණු බවක් ඔහු පවසයි. මෙම ආබාධයත් සමග තමන්ට රෝද පුටුවකට නැගීම හෝ මෝටර් රථයකට ගොඩවීම හෝ අපහසු වූ බව ඔහු සඳහන් කරයි.

"මම අවුරුදු 19 දක්වා හැදී වැඩුණේ නේපාලයේ. මම දැක්කා නේපාලයේ දුෂ්කර ගම්මානවල ජීවත් වෙන ආබාධ සහිත පුද්ගලයන්ට සලකන්නේ කොහොමද කියලා. අදටත් ගොඩක් මිනිස්සු හිතන්නේ ආබාධිත බව කියන්නේ පාපයක් කියලා.

ඒ වගේම, එවැන්නෙක් මහපොළොවට බරක් කියලා. ඒත් මම දැක්ක දේවල්වලින් මම මගේ ගැන එහෙම විශ්වාස කරන්නේ නෑ.”

එහෙත් අවස්ථා කිහිපයකදීම තමත් සිය වේදනාව සහ හැඟීම් පාලනය වෙනුවෙන් දැඩි ලෙස මත්පැන් පානයට යොමුවුණු බවත්, ඇතැම් අවස්ථාවලදී ජීවිතය නැති කරගැනීමට පවා උත්සාහ කළ බවත් මාගර් පවසයි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය හමුදාව යටතේ ක්‍රියාත්මක කළ ක්‍රීඩා අවස්ථාවන් සහ අභියෝගාත්මක ඉසව් සඳහා ලබාදුන් දායකත්වයත් සමග ඔහුට මෙම මත්පැන් පානයෙන් ඉවත්වීම සඳහා වන ආත්ම විශ්වාසය ඇතිව තිබේ. ඒ අනුව, ඔහු එවරස්ට් කන්ද තරණය සඳහා ප්‍රථම වරට සැලසුම් කර ඇත්තේ 2018 වසරේදීය. එහෙත් එවරස්ට් තරණයේදී ඇති වන මරණ සංඛ්‍යාව අඩු කරගැනීමේ අරමුණින් ඒ වනවිටත් පාද දෙකම අහිමි සහ අන්ධ පුද්ගලයන් සඳහා එවරස්ට් තරණය තහනම් කිරීමට නේපාල බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත්, මාගර් වසර කිහිපයක් තිස්සේ සිදුකළ මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස නේපාල බලධාරීන් එම තහනම ඉවත් කරමින් ඔහුට එවරස්ට් තරණය සදහා අවස්ථාව ලබා දී තිබේ. එතැන් සිට මේ වනවිට පාද අහිමි බොහෝ පිරිසක් එවරස්ට් කන්ද තරණය සදහා පැමිණෙමින් සිටින බවත් සඳහන් වෙයි. ඒ අනුව, මේ සඳහා ඔහු වෙනුවෙන්ම විශේෂයෙන්ම කෘත්‍රිම පාද දෙකක්ද නිර්මාණය කර තිබේ. මෙම පාද මගින් අයිස් සහ හිම මතින් පහසුවෙන් ඇවිද යාමට හැකියාව ලැබීම එම විශේෂත්වයි. මෙම පාද 'මකුලු පාද' ලෙසින් හැඳින්වී තිබේ.

සිය ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය වූ එවරස්ට් කන්ද තරණයෙන් අනතුරුව තමන් ඉදිරියේදී පවුලේ සාමාජිකයන් සමග කැන්ටර්බරිහි පිහිටි සිය නිවසේ කාලය ගත කිරීමට තීරණය කර ඇතැයිද මාගර් පවසයි. එසේම තමන් ආබාධිත තත්ත්වයට පත්වූ පිපිරීම සිදුවූ ඇෆ්ගනිස්තානයේ පළාත වෙත කවදා හෝ දිනෙක යාමත් ඔහුගේ අපේක්ෂාවකි.

“මට එතැනට ගිහින් බොහෝම ස්තූතියි කියන්න ඕනේ, මොකද මගේ පාද දෙක අහිමි නොවුනා නම්, මට එවරස්ට් කන්ද නගින්නත් බැරි  වෙන්න තිබුණා. ඒ නිසා මොන දේ වුණත්, ඒ දේ වෙන්නේ හොඳටයි කියලා හිතන්න.” යනුවෙන් මාගර් අවසන් වශයෙන් පවසා සිටියි.