kandy-dengue-area

මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස නම් කළ බවත් රෝගය වැළඳීමෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ තුනක් වාර්තා වී ඇති බවත් ප්‍රාදේශීය වසංගත රෝග වේදඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාරච්චි මහතා පැවසීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23 වැනිදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ පැවැති මහනුවර දිස්ත්‍රික් ඩෙංගු මර්දන කටු රැස්වීමේදී ප්‍රාදේශීය වසංගත රෝග වේදඥවරයා මේ පැවැසුවේය.

ෙමේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 36170 වාර්තා වන බව පැවැසූ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාරච්චි මහතා එයින් රෝගීන් 1822ක් මහනුවර දිස්ත්‍රික්කයට අයත් බවත්, එය සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රතිශතයෙන් සියයට පහක ප්‍රමාණයක් බවත් පෙන්වා දුන්නේය.

මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් දරුවන් 400කට ඩෙංගු වෛරසය ආසාදනය වී ඇති බව පෙන්වා දුන් වෛද්‍ය ක්‍රිශාන්ත මාසාරච්චි මහතා වැඩිහිටියන් 630 ක පමණ පිරිසකටද රෝගය වැලදී ඇතැයි සඳහන් කළේය.

ඩෙංගු රෝගය නිසා මහනුවරින් වැඩිම අවදානමකට ලක්ව ඇත්තේ මහනුවර නාගරික සීමාවේ තිබෙන පාසල් වල දරුවන් බව පැවසූ වෛද්‍යවරයා පසුගිය වසරට වඩා මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදු විය හැකි බව ද පෙන්වා දුන්නේය. ඩෙංගු රෝගය මර්දනය කිරිම සඳහා රජය මගින් ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව පැවසූ වෛද්‍යවරයා මහජනතාවද ඩෙංගු මර්දනය සඳහා සක්‍රීයව දායක විය යුතු බව පැවසුවේය. ඩෙංගු කමිටු රැස්වීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රජයේ නිලධාරිහු රැසක් සහභාගී වූහ.

  පී.එම්. රාජපක්ෂ