raa-artificial

අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ පවා කෘත්‍රිම රා නිෂ්පාදනයේදී යොදා ගන්නා බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු මහතා පැවසීය.

එමෙන්ම, මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බවද ඔහු පැවසුවේය.



මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130කට වඩා වැඩි බදු මුදලක් අහිමි වන බවද ඔහු පැවසුවේය.

ඇල්කොහොල් සඳහා කෘතිම රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත්, මෙරට අළෙවි කරන රා වලින් සියයට 90 ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් මේ හේතුවෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග රැසක් වැලඳීමට මෙම තත්ත්වය හේතු වී ඇති බවත් ඔහු පැවසීය.



සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරොධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට සියයට 300 කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා කීවේය.

සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ කියා සිටියේ, සුවඳ විලවුන්, තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයන් නිෂ්පාදන කටයුතු සිදුකරන බවය.