
පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට ගිය ප්‍රධාන පෙළේ මහෙස්ත්‍රාත්වරයකුට බැණ වැදුණු කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනා ඇපමත නිදහස් කර යවා ඇත.
රාගම පොලිසිය පවසන අන්දමට මෙම සැකකරුවන් තමන් කළ වරදට මහෙස්ත්‍රාත්වරයාගෙන් පසුව සමාව ඉල්ලා ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ නොදැනුවත්ව මහෙස්ත්‍රාත්වරයාට මෙසේ බැණ වැදුණු බවය.
අදාළ වෛද්‍යවරයා හමුවීම සඳහා පෝලීම නොසලකා එහි ගිය බව කියමින් එම සැකකරුවන් මහෙස්ත්‍රාත්වරයාට මෙසේ බැණ වැදී තිබේ. එහෙත් කරුණු හරිහැටි වටහා නොගෙන මෙම සැකකාරියන් දෙදෙනා සහ පිරිමි පුද්ගලයා මහෙස්ත්‍රාත්වරයාට බැණවැදී ඇති බව පොලිසිය කියයි. මහෙස්ත්‍රාත්වරයා අදාළ වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ බෙහෙත් තුණ්ඩුවක් ලියා ගැනීමට මිස වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගැනීමට නොවන බව වරදවා වටහා ගත් සැකකරුවන් මෙසේ හැසිරී ඇති බව ද පොලිසිය කියයි.
(නෝමන් පලිහවඩන)
Comments
Post a Comment
Your comment will be visible after approval