dinesh-shaster-body

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද යළි ගොඩගෙන තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව අදාළ දේහය ගොඩගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණ විසින් අවසර ලබා දුන් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීමේ කටයුතු සිදු කළේය.

ගොඩගත් දේහයේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිතව ඇති අතර පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පළකර ඇත.



දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණේ ඉකුත් 19 වැනිදාය.
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංචපුද්ගල විද්වත් කමිටුවක් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා පත් කරනු ලැබීය. එම විද්වත් වෛද්‍ය මණ්ඩලයේ සභාපතිත්වය  කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා විසින් හොබවනු ලබන අතර, එහි අනෙකුත් සාමාජිකයන් වන්නේ, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන මහත්වරුන්ය.