
සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්ව 15 හැවිරිදි සිසුවෙකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ දහවන වසරේ ශිෂ්‍ය නායකයකු වූ බිම්සර ප්‍රබෝද් රණසිංහ නම් සිසුවාය.
මනමාලි වූ සහෝදරියගේ එකම සහෝදරයා ඔහු බව ද පොලීසිය සඳහන් කරයි.
විවාහ උත්සවයේ මඟුල් පින්තූරය රැගෙන මනාලයාගේ පියා සමග නැවත පැමිණෙමින් සිටිය දී කුරණ බෑවුම් ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී තිබේ.
අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර් 15ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති යතුරුපැදිය කොස් ගසක ගැටී නැවතුණු බව සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් පැවසූවාය.
සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
සිදුවූ අනතුරින් යතුරු පැදියේ රෝදය සහ අනෙකුත් කොටස් දෙකට වෙන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) හොරණ මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
ඉංගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval