prasanna-minuwangoda-land-issue

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අයත් බව කියන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමකට පෙරේදා (25) සවස ගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක කටයුතුවල නිරත කොස්තාපල්වරයකුට සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයකුට පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.


අමාත්‍යවරයාට අයත් බවට පැවසෙන මෙම ඉඩමේ අලුතින් පොල් සිටුවීමට වළවල් ද කපා ඇති අතර අමාත්‍යවරයා මෙම ඉඩම බැලීමට පැමිණෙන බැවින් ඊට පෙර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි බව පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා පවසන්නේ යැයි වාර්තාවේ.
පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා සහ කාර්ය මණ්ඩල සේවකයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හතළිස් තුන් හැවිරිදි රියදුරකු සහ රජයේ රෝහලක සේවය කරන හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.
කොස්තාපල්වරයා සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයා ඉඩමට ඇතුළු වීම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුවී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


පහර කෑමට ලක් වූ දෙදෙනා දුන් ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
ඔවුන්ට පහර දුන් බව කියන තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය