nathasha-edirisooriya-arrested

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස කතාවක් පැවැත්වූ බවට විවේචනයට ලක්වූ නතාෂා එදිරිසූරිය සෙනසුරාදා (27) රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකාවෙන් පිටතට යාමට උත්සාහ කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තාවේ.
ඇයගේ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව ගණනාවක් කළ පැමිණිලි ඔස්සේ පැමිණිලි යොමුවෙමින් පැවති අවස්ථාවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


පසුගිය අප්‍රේල් 01 වනදා මෝඩාභිමානය නමින් පැවති වැඩසටහනකට එක්වමින් 'සුද්ධෝදනගේ පොඩි එකා' යනුවෙන් සිදුහත් කුමරු හඳුන්වමින් ආගමික සංකේත විහිළුවට ලක්කිරීම ඇයට එරෙහි ප්‍රධාන චෝදනාවයි.
ඇගේ ඉදිරිපත්කිරීම එම අවස්ථාවේ ආන්දෝලනයක් ඇති කරේ නැති නමුත් මැයි 24 වනදා යූටියුබ් ඔස්සේ එය ප්‍රචාරය වීම සමග ආන්දෝලයක් ඇති විය. පසුව මැයි 26 වනදා ඇය එය ඉවත් කරගෙන සමාව ඉල්ලා සිටියාය.
අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය, පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ ඇතුළු කන්ඩායම් කිහිපයක් ඇයට එ​රෙහිව පැමිණිලි ඉදිරිපත් කළ අතර අන්තර්ජාලය ඔස්සේ පොලිස්පතිවරයාට මහජන පැමිණිලි යොමු කරන්න යොමුවක්ද සමාජ ජාලා ඔස්සේ හුවමාරු විය.


මේ අතර මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ මෙම වැඩසටහන සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශණ කටයුතු සිදු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර තිබුණි.