panadura-incident

පානදුර උතුර පොලිසිය මගින් පෙරේදා (24 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගැනුණ කාන්තාවක හදිසියේ අසනීපව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මිය ගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි සිව්දරු මවක බවද පොලිසිය කීය.

මියගොස් ඇති කාන්තාවගේ නිවෙසේ නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රි නිවස වටලා නීති විරෝධී මත්පැන් සමග කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.



ඒ අනුව පවුලේ සාමාජිකයකු වෙත බාරදී රෝගී කාන්තාව රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර, රෝහල් ගතකිරීමේ දී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මරණයත් සමග යම් නොසන්සුන්කාරී තත්ත්වයක් පැවැතිය හැකි බවට බුද්ධි අංශ වාර්තා කිරීමත් සමගින් එදින රාත්‍රියේම කැරලි මර්දන ඒකකය කැඳවා තිබුණි. එහෙත් මරණකාරියගේ පවුලේ සාමාජිකයන් සහ සමීප හිතවතුන් ඇතුළුව විස්සකට ආසන්න පිරිසක් පැමිණ සිටියද පොලිසිය කරුණු  අවබෝධ කරදීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

මෙහිදී මරණකාරියගේ දියණියක සඳහන් කළේ මව කසිප්පු විකිණීම සිදුකරන්නේ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට බවත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය රෝහල් ගතකිරීමට යුතුකමක් තිබූ බවත්ය.පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා සඳහන් කළේ පානදුර සහකාර පොලිස් අධිකාරී 3 සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සඳහා යොදා ඇති බවය. මරණය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පානදුර මූලික රෝහලේදී පශ්චාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි .

 සුමිත් පොතුපිටිය