nuwara-eliya-eye

අක්ෂි සැත්කම්වලට ලක් වූ රෝගීන් දස දෙනකු සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත්ව ඇතැයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්දු සෙනෙවිරත්න මහතා පැවසීය. නුවරඑළිය මහ රෝහලේදී ඉකුත් 5 වැනිදායින් පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසුව එම රෝගීන් දස දෙනා අන්ධභාවයට පත්ව ඇතැයි ද ඊට හේතුව ඇසට දැමූ බෙහෙතක විසබීජ තිබීම බවට මූලික පරීක්ෂණවල දී අනාවරණය වූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය. මෙම විසබීජ තිබී ඇතැයි කියනුයේ ශ්‍රී ලංකාවට කිට්ටු රටකින් ආනයනය කළ බෙහෙතකය.



අක්ෂි සැත්කම් සිදුකරගත් රෝගීන් නිවෙස්වලට ගිය පසුව දින කීපයක දී ඔවුන්ගේ ඇස් පෙනීම මුළු මනින්ම නැති වී  ගොස් නැවත රෝහලට පැමිණි බවද ඔහු පැවසීය. මේ වන විට එම රෝගීන්ට නේවාසික ප්‍රතිකාර ලබාදෙන අතර ඔවුන්ට ක්‍රම ක්‍රමයෙන් පෙනීම ලැබෙමින් තිබෙන බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය. ඔවුන්ගේ රෝගී තත්වය සියයට 30කින් පමණ  දැනට යහපත් අතට පත්වෙමින් පවතින බවද ඔහු පැවසීය.

දැනට කෙරෙන ප්‍රතිකාර අවසන් වන විට ඔවුන්ගේ ඇස් යථා තත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස  කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඔවුන් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බව තමාට දැනුම් දුන් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කයුතු කළ සමාගම දැනුවත් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තමාට දැනුම් දුන් බවද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.
 ආර්.එෆ්.එම්. සුහෙල්