meegoda-house-blue-sapphire

විදේශ රටවල්වලට නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්ත හිමියකුගේ මීගොඩ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනාකමකින් යුත් ආරනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපළ සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. සොරා ගෙන යන ලද දේපළ අතර කෝටි 35කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික, ලක්ෂ පහළොවක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත්ඔරෝසුවක්, ටයිටෑන් වර්ගයේ කාන්තා අත්ඔලොසුවක්, රන් මුදු හයක්, රන් අත්පළඳනාවක්, රිදී මුදුවක්, රුපියල් ලක්ෂ අටහමාරක් පමණ වටිනා ඇමෙරිකන් සහ සිංගප්පූරු ඩොලර් නෝට්ටු 2100ක් හොංකොං මුදල් නෝට්ටු කිහිපයක් මෙන්ම මෝටර් රථයේ ස්වයංක්‍රීය ක්‍රියාකරවන හා විදේශ බැංකු කාඩ්පත් පහක් වන බව පොලිසිය පවසයි.



ඉකුත් පස්වැනිදා ව්‍යාපාරිකයා බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ කොට්ටාව ප්‍රදේශයේ විහාරස්ථානයක දානයම පින්කමකට සහභාගී වී පසුව කොළඹ ප්‍රදේහයේ ඥාතියකුගේ නිවසේ පැය කීපයක් ගත කර එදින මධ්‍යම රාත්‍රී 12.30ට පමණ නිවසට පැමිණි බව පැමිණිල්ලේ  සඳහන් වේ. සියලු දෙනා නින්දට ගොස් පෙරේදා (6) උදේ නවයයි තිහට පමණ අවදි වී ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් දෙමින් ඔහුට අයත් බෑග් කීපයක් වෙලක් ආසන්නයේ දමා ගොස් ඇති බවත් එහි තිබූ දුරකතන අංකයකින් ඇතුම ලබා ගත් බවත් දැනුම්දී තිබූ බවද පොලිසිය කියයි.

අනතුරුව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණීමෙන් පසුව ඔහු සමඟ ව්‍යාපාරිකයා එම ස්ථානයට ගොස් ඔහුගේ නිවසේ තිබූ කාන්තා අස්බෑග් දෙක හා අනෙක් අත් බෑගය හඳුනාගෙන තිබූ බවද පොලිසිය පවසයි. එම කාන්තා අත්බෑග් දෙක දෙවන මහලේ කාමරයක බෑග් එල්ලීම සඳහා සකස් කර ඇති ස්ථානයේ එල්ලා තිබී ඇති අතර අනෙක් බෑගය යාබඳ කාමයේ තිබී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.



රුපියල් කෝටි 35 ක් පමණ වටිනා නිල් මැණික තිබී ඇත්තේ කාන්තා අබෑගයක් තුළ දමා බවත් අනෙක් අබෑගයේ ව්‍යාපාරිකයට අයත් බැංකු පාස් පොත්, විදේශ බැංකුවලට අයත් කාඩ්පත් මෙන්ම තවත් වැදගත් ලිපිලේඛන රැසක් තිබී ඇති බවත් පොලිසිය කියයි. අත්ඔරලෝසු සහ රන්භාණ්ඩ මධ්‍යම රාත්‍රියේදී නිවසට පැමිණීමෙන් පසුව පහත මහලේ මේසය මත තබා තිබී ඇතැයි පොලිසිය පවසයි. පැමිණි සොරුන් නිවසේ අල්මාරි සහ කබඩ් කඩා නොමැති අතර නිවසේ දෙවන මහලේ පිටුපස පෙදෙසේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෝටර් රථය ස්වයංක්‍රීයව පණගන්වන උපකරණය එම ප්‍රදේශයේ නිවසක් අසල තිබී ව්‍යාපාරිකයාට ඊයේ (7) දී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සොරාගත් මැණික ව්‍යාපාරිකයා ව්‍යාපාර කටයුතුවලදී තුර්කියෙන් ලැබුණු එකක් බවටද පැමිණිල්ලේ සඳහන් වේ. නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීහු හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු නිවසට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ