natasha-edirisuriya-suddhodana-apology

බෝධිසත්ව චරිතයට නින්දා වන අයුරින් හා බුදුදහමට නින්දා වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට බඳුන්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවක ප්‍රසිද්ධියේ තමන් කියූ දේ ගැන සමාව ගෙන ඒ සම්බන්ධව පළව ඇති වීඩියෝ ඉවත්කර ගෙන තිබේ.
ඇය පසුගිය කාලයේ විවිධ ආකාරයේ විකට කතාබස් ඉදිරිපත් කරන්නියක ලෙස ප්‍රකටව සිටි අයෙකු වන අතර මෑතක සිට යූටියුබ් ඔස්සේ ප්‍රකටව සිටි ශිල්පිණියකි.
අප්‍රේල් 01 වනදා ‘මෝඩයාගේ දවසේ‘ කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයෙහි පවත්වන ලද ‘මෝඩාභිමානි‘ නම් විකට ප්‍රසංගය සංවිධානය කර තිබුනේ කලම්බු කොමඩි සෙන්ට්‍රල් නමැති යූටියුබ් නාලිකාවයි. එහිදී standup comedy අයිතම ඉදිරිපත් කළ අය අතරින් කෙනෙකු වූයේ නතාෂා එදිරිසූරියයි.
ඇගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය පළ කෙරෙන්නේ එම අවස්ථාවේදීය. කෙසේ වෙතත් අන්තර්ජාලය වෙත එම වීඩියෝව මුදහැරීමෙන් පසු ඇය බුදුදහමට නින්දා වන අයුරින් කළ ප්‍රකාශය විවේචනයට බඳුන්වන්නේ මාස එකහමාරකට පමණ පසුවය.
‘මෝඩාභිමානි‘ විකට ප්‍රසංගයේදී ඇය මෙසේ කියා තිබුණි.

“අර සුද්ධෝදනගේ ළමයා ඒ ළමයා ඉපදුනු දවසෙම ඇවිදිනවා. අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන දවසේ කවියක් කියලා. සුද්ධෝදනගේ කොලු පැටියා ඉපදුනු දවසේ කියලා නැහැ දැන්මම තීරණය කරලා තියෙන්නේ එයා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා. බෞද්ධ බාලිකාව කියන්නේ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිෂ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙට එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියෝ විදිහටම තියාගන්න වගබලාගන්න එක තමයි බෞද්ධ බාලිකාවක් කියන්නේ. මුස්ලිම් ත්‍රස්තවාදියෝ ඒගොල්ලෝ පිපිරිලා, දිවි නසාගෙන මැරුනහම ඒගොල්ලන්ට කන්‍යාවියෝ හැත්තෑ දෙකක් හම්බවෙනවනේ.

ඉතින් ඒකෙන් වැඩි කෝටා එකක් කරන්නේ බෞද්ධ පාසල්. ඉතුරු කෝටා එක කන්‍යාරාමයේ. සහජීවනය වෙනුවෙන් කන්‍යාවියන්. මෙතන කෝල ගර්ල්ස්ලා ඉන්නවද?


අපේ ඉස්කෝලෙට ගිය හුඟක් අය දැන් කෝල ගර්ල්ස්ලා. මොකද ඉස්කෝලෙට ආව දවසේ ඉඳන් බිම බලාගෙන ඇවිදින්න. ගවුම හදාගෙන වාඩිවෙන්න. කනට ඇහෙන්නේ නැති වෙන්න කතා කරන්න. කොක් හඬ නගන්නේ නැතුව හිනා වෙන්න. ඕවා අහල අහලම ඉස්කෝලෙන් අයින් වෙද්දි හුඟක් අය කෝල ගර්ල්ස්ලා වෙලා. හරිම කෝලයි. සබකෝලයි. අඩුම තරමේ කනට ඇහෙන්න කෙඳිරි ගාන්නෙවත් නෑ. හයියෙන් කියන්න එක දෙයයි. හෑයියා. ඕන දේකට හෑයියා කියන්න ඔටෝ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.අපේ ඉංග්‍රීසි මිස්ට බබෙක් හම්බෙන්න ඉන්නවා. හෑයියා. ඊයේ බස් එකේදි අයියා කෙනෙක් මට ඇහැක් ගැහුවා. හෑයියා. බෞද්ධ බාලිකාවටද ගියේ?”

ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය මාස එකහමාරකට පසු මැයි 26 වනදා යූටියුබ් ඔස්සේ සමාව ඉල්ලා තිබේ.
එම වීඩියෝව සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විවේචන පැවති බවත් එයින් යම් පිරිසකට සිත් රිදීමක් ඇති වී තිබීම හේතුවෙන් එම විඩියෝපටය ඉවත් කළ බවත් සිත් රිදීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් නතාශා එදිරිසූරිය හා යූටියුබ් නාලිකාව වෙනුවෙන් හසලක තුෂාර සමාව ඉල්ලා තිබේ. එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කළ බවද පවසා තිබේ.

නතාෂා එදිරිසූරිය බෝධිසත්වයන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර ඇති බව Beyond the struggle ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි,
නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එස්එල් ව්ලොග් නමැති කණ්ඩායමට අයත් නතාෂා එදිරිසූරිය, හසලක තුෂාර ,මංජු නිශ්ශංක සංවිධානාත්මකව මෙසේ බෞද්ධ ආගම මූලික කරගෙන සිදුකරගෙන යන ක්‍රියා සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ආන්දෝලනය ඇති කළ වීඩියෝව හා සමාව ගැනීමේ වීඩියෝව පහතින්