meerigama-incident

මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී මෝටර් රථයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියලුදෙනාත් එම කාරයත් කාරයේ තිබූ සියලු දේපළත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (25) මීරිගම පොලිසියට නියෝග කළේය. ගම්පහ බැණ්ඩියමුල්ල පදිංචි සුනිල් සිසිර කුමාර නමැත්තකුට අයත් මෝටර් රථය ඉකුත් අප්‍රේල් මස 9 වැනි දින මීරිගම නගරාසන්නයේ දිවුලපිටිය මාර්ගයේ දී පිරිසක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් තිබිණි.



මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීරිගම පොලිසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේ දී හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කාරය පැහැරගෙන ගොස් ඇති බවත් එම කාරය තුළ වටිනා වර්ගයේ ජංගම පොත්  දුරකතනයක් හා චෙක් පොත් පහක් ද තිබී ඇති බවත් හෙළි වී තිබිණි. මේ පිළිබඳව මීරිගම පොලිසිය පෙර දිනයක අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් ඊයේ (25) යළි කැඳවූ අවස්ථාවේ මීරිගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.ජී.ඇස්. පී. සුබසිංහ මහතා කරුණු දක්වමින් කාරය පැහැරගෙන යාම පිළිබඳව කරන ලද පරීක්ෂණවල දී කාරයට ගෙවිය යුතු හිඟ වාරික මුදල් නොගෙවීම හේතුවෙන් කොළඹ මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මූල්‍ය සමාගමක පිරිසක් විසින් එය පැහැරගෙන ගොස් ඇති බව කියා සිටියේය.



මේ අනුව එහි කළමනාකාරවරයාට කාරයත් රැගෙන පොලිසියට එන ලෙස දන්වා තිබුණත් ඔහු එහි නොපැමිණි බව ද පොලිස් පරීක්ෂකවරයා කීය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පොලිසියට එන්න කියන්න අවශ්‍යතාවක් නැහැ. පැහැදිලිවම අපරාධයක්. වහාම කාරය පැහැරගෙන ගිය පුද්ගලයන් හා එයට උපදෙස් දුන් සියලු දෙනාම තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීරිගම පොලිසියට නියෝග කළේය. වාරික මුදල් නොගෙවූ බව කියමින් මුල්‍ය සමාගම්වලට කිසිදු බලයක් නැහැ වාහන පැහැර ගන්න. මෙය පැහැදිලිවම අපරාධයක්. පොලිසිය වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් නියෝග කළේය.

(ආනන්ද ඉ ජයකොඩි)