homagama-hospital-incident

හෝමාගම මූලික රෝහලේ ඔක්සිජන් සේවා කාමරයට හොර රහසේ ඇතුළු වී ඔක්සිජන් සේවා සැපයුම සාහසික ලෙස නතරකර රෝගීන්ගේ‍ ජීවිත අවදානමකට ලක් කළ බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේම සේවයේ නිරත සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හේමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත තලංගම දකුණ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයකු බව පොලිසිය කීය.



ඉකුත් 19 වැනිදා රාත්‍රි එක්වරම අනතුරු අඟවන සීනුව නාද වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ක්‍රියාත්මක වී විපරම් කර බැලීමේදී ඔක්සිජන් සේවා සැපයුම් කාමරයේ දොර විවෘත කර තිබෙනු දැක තිබේ. ඒ අනුව ඔක්සිජන් සේවා කාමරය තුළට ගොස් බැලීමේදී එහි ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් කිහිපයක් විවෘත කර ප්‍රධාන ඔක්සිජන් සැපයුම් නළ මාර්ගය වසා දමා තිබෙනු දැක තිබේ. ඒ අවස්ථාවේදී ක්ෂණිකව ඔක්සිජන් සැපයුම  යථාතත්ත්වයට පත් කෙරිණි.

ඒ වන විට දැඩි සත්කාර ඒකකයේ, නොමේරු ළදරු ඒකකයේ හා වාට්ටුවල රෝගීන් 26 දෙනෙකුට ඔක්සිජන් ලබාදෙමින් තිබූ අතර යම් හෙයකින් අඩාළ වූ ඔක්සිජන් සේවාව යථාතත්ත්වයට පත්කිරීමට බාධා පැමිණියේ නම් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකුගේ සහ නොමේරු ළදරු ඒකකයේ සිටි බිලිඳු දරුවන් 10 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුගේ ජීවිත අවදානමකට ලක්වීමට ඉඩ තිබූ බව පොලිසිය පැවසීය.



සිද්ධියෙන් පසුව හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිවරයා විසින් 19 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අනුව රෝහලේ ආරක්ෂක අංශ, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සුළු සේවකයන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර එහිදී අනාවරණය වූ කරුණුවලට අනුව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අනුයුක්තව සේවයේ නිරත කනිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ 25 දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හේමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න