may9-court

පසුගිය  වසරේ මැයි 9 වැනිදා මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට ගිනිතබා විනාශ කිරීම සම්බන්ධව විමර්ශනයක් පවත්වන ලෙස  ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ (22)  අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගන්නා ලදි. පෙත්සම සලකා බලනු ලැබු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.



නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජනරල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කියා සිටියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව දැනුම් දී ඇති බවත් ඊට අමතරව ජනාධිපති ලේකම්වරයා  විසින් කරන්නාගොඩ වාර්තාවේ සඳහන් නිර්දේශයන් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවට දැනුම් දී ඇති බවත්ය. ඒ අනුව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියේය.

ඊට විරුද්ධත්වය පළ කළ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ තම සේවාදායකයාට මෙම සිද්ධියෙන් විශාල අගතියක් වී ඇති බැවින් ඊට විරුද්ධත්වය පළ කරන බවය. සංජය ජයවර්ධ මහතා ඊට පිළිතුරු දෙමින් පවසා සිටියේ ජනාධිපති නීතිඥවරයාගේ සේවාදායකයා අදාළ වාර්තාව පිළිබඳ කිසිදු අධිකරණයක දී විරෝධතාවක් පළකර නොමැති බවය. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලැබිණි.


විමුක්ති එස්. රුද්‍රිගු